ඉන්දියාවේ වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් එරට වෛද්‍යවරු අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඉන්දියාවේ විශාලතම වෛද්‍ය සංගමය වන ඉන්දියානු වෛද්‍ය සංගමය පැවසුවේ අත්‍යවශ්‍ය නොවන සියලුම රෝහල් සේවාවලින් අද සිට ඉවත්වන බවයි.
ඔවුන් පසුගිය සතියේ සිදු වූ ඝාතනය හැඳින්වුවේ කාන්තාවන්ට ආරක්ෂිත අවකාශයක් නොමැතිකම හේතුවෙන් වූ ම්ලේච්ඡ පරිමාණයේ අපරාධයක් ලෙසයි.
එවැනි ක්‍රියා වැලැක්වීමට ඔවුන් ජනතා සහාය ඉල්ලා සිටියා.
ප්‍රහාරයට එරෙහි විරෝධතා ප්රචණ්ඩ ස්වරූපයක් ගත්තේ ඝාතනය සිදුවූ රෝහලට මැර පිරිසක් පහර දීමෙන් පසුවයි.
වෛද්‍ය වර්ජනය පැය 24ක් පවතින බවයි වාර්තා වන්නේ.
එහෙත් ඇතැම් වෛද්‍ය සංගම් දින නියමයක් නොමැතිව වර්ජනය කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රචණ්ඩත්වයට එරෙහිව වෛද්‍ය කාර්ය මණ්ඩල වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා නීතිය ශක්තිමත් කිරීම, රෝහල්වල ආරක්ෂක මට්ටම ඉහළ නැංවීම හා විවේක ගැනීම සඳහා ආරක්ෂිත අවකාශයන් නිර්මාණය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනය පැවැත්වෙනවා.
ඝාතනයට සම්බන්ධ වූවන්ට නඩු පැවරීම සම්බන්ධයෙන් මෙන්ම මියගිය කාන්තාවගේ පවුලට වන්දි ගෙවීමට ද ඔවුන් බලකර තිබෙනවා. 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සමස්ත ඉන්දියාවම කම්පාවට පත් කළා.
මෙම අපරාධය සම්බන්ධයෙන් එම රෝහලේ සේවය කළ ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.