බංග්ලාදේශ අගවිනිසුරු ඔබයිදුල් හසන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ එරට ශිෂ්‍ය ක්‍රියාකාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වටකරමින් කළහකාරී ලෙස විරෝධතාවල නිරතවීම හේතුවෙන්.
අගවිනිසුරු ඔබයිදුල් හසන් හා අනෙකුත් විනිසුරුවන්ට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් විරෝධතාකරුවන් අද උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය වට කිරීමට පියවර ගත්තා.
විරෝධතාව ආරම්භ කරමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රකාශ කළේ අද පස්වරු 1ට පෙර අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරුවන් ඉල්ලා අස්විය යුතු බවයි.
විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් ඉටු නොකළහොත් විනිසුරුවන්ගේ නිවාස ද වටලන බවට ඔවුන් තර්ජනය කර ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ.
අලුතින් පිහිටවූ අන්තර්වාර ආණ්ඩුවේ අදහස් විමසීමකින් තොරව අගවිනිසුරුවරයා පූර්ණ උසාවි රැස්වීමක් කැඳවීමෙන් පසුවයි මෙසේ විරෝධතා අලුතින් ආරම්භ කර තිබෙන්නේ.
මාස ගණනාවක් පුරා පැවති විරෝධතා හේතුවෙන් බංග්ලාදේශය දැඩි අසීරුතාවයන්ට පත්වුණා.
බංග්ලාදේශ අගමැතිවරියගේ නිල නිවස රාජ්‍ය කාර්යාලය මෙන්ම බංග්ලාදේශ පාර්ලිමේන්තුව ද ශිෂ්‍ය ක්‍රියාකාරී කැරළි කණ්ඩායම් සිය අණසකට ගනු ලැබුවා. ඒ හේතුවෙන් බංග්ලාදේශ අගමැතිණී ශෙයික් හසීනාට ධුරය අතහැර රටින් පලායාමට ද සිදුවුණා.
බංගලිදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ විරෝධතා පෙළපාලි හේතුවෙන් මේ වන විට 500 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි. 1971 නිදහස් සටනින් පසු බංග්ලාදේශය තුළ ඇති වූ දරුණුතම ප්රචණ්ඩත්වය ද මෙයයි.
බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රූෆ් තලුක්දර් ද ඉල්ලා අස්වී ඇති නමුත් තනතුරේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන නොමැති බවයි එරට අන්තර්වාර පාලනයේ මුදල් අමාත්‍යාංශයේ උපදේශක සලේහුදීන් අහමඩ් පවසන්නේ.
මේ අතර බලයෙන් පහකළ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මැතිවරණය ප්‍රකාශයට පත් වූ විගස නැවත එරටට පැමිණෙන බව ඇගේ පුත් සජීබ් වසේඩ් ජෝයි පවසනවා.
වසේඩ් ඇමරිකාවේ ජීවත් වන අතර වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥයෙක්. අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගිය ෂීක් හසීනා මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින බවයි වාර්තා වන්නේ.