පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව බංග්ලාදේශ ජනාධිපතිවරයා නිවේදනය කරනවා.
මේ අතර සිරගතකර සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය බෙගම් ඛලීඩා ෂියා නිදහස් කිරීමටයි ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර ඇත්තේ.
බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.
ජාතිය ඇමතූ එරට හමුදා ප්‍රධානියා බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ඊයේ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රටපුරා ප්රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා දින නියමයක් නොමැතිව බංග්ලාදේශයට ඇඳිරි නීතිය ද පනවා තිබෙනවා.
එරට විරෝධතාකරුවන් අගමැති මන්දිරය හා බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ද කඩාවැදුනා.
කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් අගමැති මන්දිරයේ බඩු බාහිරාදිය නිවෙස් වෙත රැගෙන යන ආකාරය දැකගත හැකිවුණා. ඔවුන් අගමැති මන්දිරයට කඩාවැදී රාජ්‍ය දේපලවලට හානි සිදුකළා.
ශෙයික් හසීනාගේ ඡායාරූප විනාශ කිරීමටයි කටයුතු කළේ.
එමෙන්ම එරට පාර්ලිමේන්තුවට ද කඩාවැදුණු විරෝධතාකරුවන් සභා ගර්භයේ මේස මත නැග කලහකාරීව හැසිරෙන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා.
මේ අතර ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපල ද තාවකාලිකව වසාදමා තිබෙනවා.
හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය නායකයින් හා සිවිල් සංවිධාන ක්‍රියාත්මක කළ උද්ඝෝෂණ හා විරෝධතා මධ්‍යයේයි අගමැතිනිය ඉල්ලා අස්වුණේ.
එරට හමුදා ප්‍රධානියා ජාතිය අමතමින් සඳහන් කර ඇත්තේ විනාඩි 45ක් ඇතුලත අගමැති ෂීක් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.
අගමැතිනිය සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇගේ බාල සොහොයුරිය වන ෂෙයික් රෙහානා සමඟ ඊයේ සවස 2:30ට පමණ ඩකා නුවරින් පිටත්ව හමුදා හෙලිකොප්ටරයකින් ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ.
පසුව ඉන්දීය හමුදා කදවුරක සිට තවත් නැවතුමක් දක්වා ඇය අද ගමන් කර ඇති බව බීබීසී පුවත් සේවය පවසනවා.
මේ අතර පසුගිය ඉරිදා සිට යළිත් ආරම්භ වී ඇති බංග්ලාදේශ විරෝධතා අතරතුර පොලිසිය හා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 91 දෙනෙකු මියගොස් තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා.
මියගිය අය අතර පොලිස් නිලධාරීන් 13 දෙනෙකු ද වනවා. පසුගිය ජුලි මාසයේ සිට මේ දක්වා බංග්ලාදේශ විරෝධතා හේතුවෙන් මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 280ක්.
මෙලෙස පුද්ගලයන් 280 දෙනෙකුට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ බංගලිදේශ විරෝධතා රැල්ලට හේතු වූයේ මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමයයි.
1971 බංග්ලාදේශයේ නිදහස් ව්‍යාපාරය වෙනුවෙන් සටන් කළ අයගේ පවුල් වල සාමාජිකයන් සඳහා රජයේ රැකියාවලින් සියයට 30ක් වෙන් කළ කෝටා ක්‍රමය අවසන් කරන ලෙස ඉල්ලා එරට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දක්වන ලද විරෝධතා පසුව ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට පත්වුණා.
පසුව එය රාජ්‍ය විරෝධී කැරැල්ලක් බවටත් පත්වුණා. මේ හේතුවෙන් බංගලිදේශ පරිපාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමකට ලක්වුණා. අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට තත්ත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමටද සිදු වුණා.
විරෝධතා පාලනය සඳහා හමුදාව කැඳවා තිබූ අතර දුටු තැන වෙඩි තැබීමේ නියෝග ද ලබා දී තිබුණා.
එහෙත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් කෝටා සම්බන්ධ නඩු තීන්දුවත් සමග කෙටි කාලයකට විරෝධතා නැවතී තිබුනා. එහෙත් අගමැතිනියට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ඊයේ සහ අදත් ප්‍රචණ්ඩකාරීන් නැවතත් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා.
මේ අනුවයි එරට හමුදා ප්‍රධානියා අද ජාතිය අමතා අගමැතිනියට ඉවත්වන ලෙස දැනුම් දී ඇත්තේ.
මෙවැනිම තත්ත්වයකට මිට වසර 2කට පෙර අප රට ද මුහුණ දුන්නා. රාජ්‍ය පාලනය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයකට පැමිණ තිබුණා. ප්‍රධාන මර්මස්ථාන ගණනාවකම බලය අරගලකරුවන් අතට පත්ව තිබුණා.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හා ඔහුගේ ආරක්ෂකයා අරගලකරුවන් අතින් ඝාතනයට ද ලක්වුණා.
එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලය අතහැරීමෙන් පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා රටේ බිඳවැටෙමින් තිබූ පරිපාලනය යළි ස්ථාපනය කරන්නට සමත් වුණා.
නීතියේ ආධිපත්‍යය සුරකිමින් අරගල සමනය කරමින් ජන ජිවිත සුරක්ෂිත කිරීමට හැකි වුණා.
මෙරට පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට හැකියාව හිමිවූයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙනුයි.
එමෙන්ම රටේ ප්‍රධානම ආර්ථික මර්මස්ථානයක් වන ගුවන් තොටුපල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ද හැකියාව ලැබුණා.
2022 ජුලි 13 වනදා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවන්නට අද බංග්ලාදේශයේ පාර්ලිමේන්තුවට අත්වු ඉරණම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ද අත්වන්නට තිබුණා.
එදා රනිල් වික්‍රමසිංහ මහතා සිය බලතල යොදමින් ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදෙමින් අරගලකරුවන් පාර්ලමේන්තු වටරවුමෙන් ඉදිරියට ගමන් කිරීම වළක්වාලීම නිසා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමට හැකිවිය.
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරමින් රාජ්‍ය පාලනය ද සීරුවෙන් හසුරුවමින් රටේ ආර්ථිකය නිවැරදි මාර්ගයකට යොමුකර ගැනීමට ද මෙම සියලු ක්රියාදාමයත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැකිවුණා.
මේ සියල්ල නොවන්නට බංග්ලාදේශයේ මෙන් හමුදා පාලනයකට අප රට නතු වන්නටත් ඉඩ තිබුණා.
බංග්ලාදේශයේ හානි වූ ජිවිත සංඛ්‍යාව මෙන් නොව ඊටත් වඩා වැඩි විපතක් ද සිදු වන්නට ඉඩ තිබුනා. තැනින් තැන ලේ වැගිරීම්වලින් තොරව මේ ගතවූ වසර 2ක කාලය රටට පමණක් නොව ලෝකයටද ආදර්ශ සැපයූ කාලයක්.