මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරමින් සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම අද සිදුකෙරුණා.
අද අලුයම 4.10ට යෙදුනු සුබ මොහොතින් නාථ, විශ්ණු, පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාලයන්හි කප් සිටුවීම සිදුකෙරුණා.
ඇසළ පෙරහැර මංගල්‍ය යේ ආරම්භය වෙනුවෙන් මෙම කටයුතු සිදුකෙරුණු අතර ප්‍රධාන දේවාලය වන විශ්ණු දේවාලයේ කප් සිටුවීමේ අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා ද එක්වුණා.
නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ ඩබ්ලිව් එස් බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර පත්තිනි දේවාලයේ කප් සිටුවීම සිදුකෙරුණේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
කතරගම දේවාලයේ කප් සිටුවීම ඊට ආවේණික චාරිත්‍රවලට මුල්තැන දෙමින් සිදුකෙරුණා.
කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහැර දේවාලය වටා ගමන් ගත් අතර මෙතැන් සිට අභ්‍යන්තර පෙරහැර 5ක් පැවැත්වීමට නියමිතයි.
ලබන 10 වනදා පළමු කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරෙනවා.
19 වනදා අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
මේ අතර ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් කප් සිටුවීම ද සිදුකෙරුණා.
ලබන 5 වනදා පළමු කුඹල් පෙරහැර ආරම්භ කෙරෙන අතර 19 වනදා රන්දෝලි මහ පෙරහැර පැවැත්වීමට නියමිතයි.
කලු ගග ඉහළ රත්මල ඇල්ලේ දී දිය කැපීමේ චාරිත්‍රය සිදු කිරීමෙන් පසු පෙරහැර මංගල්‍ය නිමාවට පත් කෙරෙනවා.