හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය කර ඇත්තේ ඔහුගේ නිවසට ආසන්න ස්ථානයක සිට එල්ල කළ ප්‍රහාරයකින් බව ඉරානය නිවේදනය කරනවා.
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ පසුගිය බදාදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කෙරුණා. ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවසට ඊශ්‍රායලය කළ ප්‍රහාරයකින් ඔහු මිය ගිය බවයි ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය නිවේදනය කරන්නේ.
නව ඉරාන ජනාධිපති මසුද් පෙසේශ්කියන් දිවුරුම් දුන් උත්සවයට සහභාගී වීමෙන් පසුව ඔහු නිවසට පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රහාරය එල්ල වුණා. කිලෝග්‍රෑම් 07 ක බරින් යුතු පුපුරණද්‍රව්‍ය මෙම ප්‍රහාරය සදහා යොදා ගෙන තිබෙනවා. ප්‍රහාරයෙන් හනියේ පෞද්ගලික ආරක්ෂකයා ජීවිතක්ෂයට පත් වුණා. ඊශ්‍රායල ප්‍රහාරය සදහා ඇමෙරිකාව පූර්ණ සහාය දක්වා ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.
62 හැවිරිදි හනියේ 1980 අග භාගයේ සිට හමාස් සංවිධානයේ ප්රමුඛ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. 1989 දී පලස්තීන කැරැල්ල මැඩලීමත් සමඟ ඊශ්‍රායලය හනියේ වසර තුනක් සිරගත කළා. ඉන්පසුව 1992 දී ඔහු හමාස් නායකයින් ගණනාවක් සමඟ පිටුවහල් කරනු ලැබුවා. හමාස් ජාතික මැතිවරණවලදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමෙන් පසු ජනාධිපති මහමුද් අබ්බාස් විසින් 2006 දී හනියා පලස්තීන අගමැති ලෙස ද පත් කළා. 2017 දී ඔහු හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා ලෙස තේරී පත් වුණා.***