විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර විවාදය හෙට පැවැත් වෙනවා.
කෙසේ වෙතත් එම විවාදය සඳහා සජීවී මාධ්‍ය ආවරණය ලබාදීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සූදානම් බවට ඊයේ ලිඛිතවම අදාළ පක්ෂ නායකයින් දෙදෙනා වෙත දැනුම් දීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු කළා.
අනුර සජිත් විවාදය පිළිබදව පසුගිය මාස කිහිපය තුළම දේශපාලන වේදිකා තුළ වැඩි වශයෙන් කතා බහට ලක්වුණා.
කෙසේ වෙතත් විවාදය සදහා දෙපාර්ශවය විසින්ම විවිධ දිනයන් ලබාදුන්න ද අවසානයේ දී විවාදය පැවැත්වෙන දිනයක් බවට තීරණය වුයේ මේ මස 6 වනදායි.
ඒ අනුව එම විවාදය ස්වාධීන රූපවාහිනියේ එච් ඩී මැදිරිය තුළ පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදිය හැකි බව පවසමින් එම පක්ෂ නායකයින් දෙදෙනා වෙත අද ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය විසින් ලිඛිතව දැනුම් දුන්නා.
මෙහිදි අප විසින් විපක්ෂ නායකවරයා වෙත යැවු ලිපිය තුළ මෙලෙස සටහන් වනවා.
2024.03.21ක් වන දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තු සභා වාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය යුතු බවට යෝජනා කළා.
එම ප්‍රවෘත්තිය අප ස්වාධීන රූපවාහිනි ප්රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කෙරුණු අතර එම විවාදය ස්වාධීන රූපවාහිනියේ විකාශය කිරීමට ද අප එහිදි ඉදිරිපත් වුණා.
එමෙන්ම 2024 මාර්තු මස 21ක් වන දින විකාශය වු තුලාව දේශපාලන සංවාද වැඩසටහන තුළ දී ද එම විවාදය සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට සුදානම් බව ප්‍රකාශ කෙරුණා.
ඒ අනුව ලබන 6 වනදා පැවැත්වෙන බව කියන මෙම විවාදය සදහා ස්වාධීන රූපවාහිනියේ එච් ඩී මැදිරිය විවෘතව ඇති අතර එදින රාත්‍රී 10 සිට එම මැදිරිය තුළ මෙම විවාදය සජීවිව විකාශය කිරීමට කටයුතු සංවිධාන කර ඇති බව මෙම ලිපිය මගින් දන්වා සිටිනවා.
ඒ අනුව එම විවාදය සදහා සහභාගී වන ලෙස කාරුණිකව ආරාධනා කරන බවයි මෙම ලිපියේ සටහන් කර තිබෙන්නේ.
මේ අතර අදාළ ලිපියේ තවත් පිටපතක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත යොමුකිරීමට ද අපි මෙහිදි කටයුතු කළා.
එම ලිපිය මගින් ද සදහන් කෙරෙන්නේ අදාළ විවාදය ලබන 6 වනදා එනම් බ්‍රහස්පතින්දා දිනයේ දී පැවැත්වෙනවා නම් ඊට අදාළ මාධ්‍ය ආවරණය ලබාදීමට ස්වාධීන රූපවාහිනිය සුදානම් බවයි.
එම විවාදය සඳහා එදිනට එක්වන ලෙස අප මෙම ලිපිය මගින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් ද ඉල්ලා සිටියා.