නිරන්තරයෙන් අකුණු අනතුරු සිදුවන ගම්මානයක් පිළිබද රත්නපුර අයගම ප්රදේශයෙන් වාර්තා වනවා.
අයගම ප්ර දේශයට නිරන්තරයෙන් වැසි ඇද හැලෙනවා.
එම වර්ෂාවත් සමග අයගම පිටකන්ද / හේවාහැට ගම්මානයේ ජනතාව දැඩි ලෙස භීතියට පත්වනවා.
ඒ නිරන්තරයෙන් තම ගම්මානය අකුණු අනතුරුවලට ලක්වීම හේතුවෙනුයි.
මෙම ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත්වන අතර වර්ෂාව ආරම්භයත් සමග බොහෝ පිරිසක් නිවෙස්වල ඇදන් හෝ පුටු මතට වි කාලය ගත කරන්නේ නිරන්තරයෙන් අකුණු ඇතිවීම හේතුවෙනුයි.
වර්ෂාව ඇතිවන ලකුණු පහළවන විටදීම ගමේ පාසල හා දහම් පාසල වසා දමා ඒවායෙහි සිටින සිසුන් කඩිනමින් නිවෙස්කරා පිටත්කර හරිනවා.
අකුණු අනතුරු හේතුවෙන් ගම්මානයේ එක් නිවසක් සම්පූර්ණයෙන්ම අතහැර දමා තිබෙනවා.
අකුණු අනතුරුවලින් ගම්මානයේ 4 දෙනෙකු මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ.