අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීම වලංගු නොවන බව එම රැස්වීමට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්වු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන බව එම පක්ෂ සාමාජික හෙක්ටර් බෙත්මගේ මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණයක් පැනවීමත් සමග එම පක්ෂයේ සභාපති ධුරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා.
අනතුරුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කිරීමට දුමින්ද දිසානායක / ලසන්ත අලගියවන්න ඇතුළු පිරිසක් කටයුතු කළ අතර ඊට එම පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන පිරිස් සිය විරෝධය පළකළා.
කෙසේ වෙතත් එවැනි වාතාවරණයක් යටතේ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් විධායක කමිටු රැස්වීමක් කැදවමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කළා.
පසුව පක්ෂයේ නව වැඩබලන සභාපති විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රිලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට උත්සාහ දැරූ අතර ඊට පොලිසියෙන් එල්ල වූ බාධාවත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
නමුත් එම විධායක කමිටු රැස්වීමට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මහතා එම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී විරෝධය පළකර තිබෙනවා. කෙසේ වෙතත් එම විරෝධයට මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ බවයි සුමතිපාල මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් සදහන් කළේ.
මේ අතර පසුගියදා ශ්‍රී ලංකා නිදහස්පක්ෂ මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධයක් නොමැති බව සදහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන මහතාට දැඩි විරෝධයක් පළකළා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ විධායක කමිටු රැස්වීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද සඳහන් කළා.