ඊයේ දිනය තුළ මාරක රිය අනතුරු 09ක් සිදුව ඇති බව පොලිසිය පවසනවා. එම අනතුරුවලින් 10 දෙනෙකු මියගොස් 13 දෙනෙකු තුවාල ලැබුවා.
නුවරඑළිය ප්රදේශයේ සිට ගම්පොල දක්වා පිරිසක් ගමන් කරමින් සිටි වෑන් රථයක් කොත්මලේ හෙල්බොඩ ප්රදේශයේ දී ප්රපාතයකට පෙරළී යාමෙන් දෙදෙනෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා.
රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු හා වයස අවුරුදු 02ක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලිසිය පවසන්නේ.
හාලි ඇල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. එහිදී රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ අතර ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු හා කාන්තාවක ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් දොම්පේ ප්රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන්.
රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර කිරිදිවැල පොලිස්වසමේ කන්නිමහර හතේ කණුව ප්රදේශයේ දී ත්රී රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කාණුවක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. එහිදී රියදුරු ඇතුළු 3 දෙනෙකු බරපතල තුවාල ලැබූ අතර ඔවුන් ගම්පහ සහ වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කෙරුණා. එහිදී 46 හැවිදිරි කාන්තාවක ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය පවසන්නේ.
මේ අතර මහියංගන ගිරාදුරු කෝට්ටේ මාර්ගයේ නිදහන්ගලදී යතුරුපැදියක් සහ ත්රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා. එසේ මිය ගියේ තී රෝද රථයේ රියදුරු වන අතර අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙකු මහියංගනය රෝහලට ඇතුළත් කෙරුණා.
අම්බලන්තොට බෝලාන තුන ඇල මාර්ගයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අසූ හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් අයෙකු තුවාල ලැබුවා. එමෙන්ම පූගොඩ ගම්පොලගෙදර දී යතුරුපැදියක් කොන්ක්රීට් කණුවක ගැටීමෙන් 20 හැවිරිදි තරුණයෙක් ජීවතක්ෂයට පත්වූ අතර මාතර අකුරැස්ස දීද යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගියා.
මේ අතර තණමල්විල තිස්ස මාර්ගයේ අලුත්ගොඩ ප්රදේශයේ දී පාපැදිකරුවෙකු බවුසරයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.