ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් දිවයින පුරා බෙදාදීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
චීනයේ සිදුකල සංචාරයකදී ආග්රාමාත්යවරයා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම බිත්තර රකින යන්ත්‍ර චීන තානාපති කාර්යාලය හරහා අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමා තිබෙනවා.
එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරෙන අතර, හෝමාගම මැතිවරණ කොට්ඨාශයට වෙන් කරන ලද යන්ත්‍රය භාරදීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල වර්ධන මහතාගේ ආරාධනයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
“විදේශීය ණය ප්රතිව්යුහතකරණයේ අවසන් අදියරේ කටයුතු පිළිබඳ නිළ සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍යතුමා පසුගිය කාලයේ චීනයේ සංචාරයක නිරත වුණා.
මෙම ණය ආපසු ගෙවීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමකින් තොරව කිසිදු රජයකට, කිසිදු ජනාධිපතිවරයෙකුට සති දෙකකට වඩා වැඩි කාලයක් රට පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන්නේ නැහැ.
කවුරුන් විසින් ආණ්ඩු බලය හිමි කරගත්තත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අනුකූලව කටයුතු කළ යුතු වනවා.
මේ වන විටත් එහි අවසන් එකඟතාවයකට එළඹ නැහැ.
ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව ඇතුළු සියලු දෙනා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උත්සාහ කරන්නේ එහි අවසන් ගිවිසුමකට එළඹීම සඳහායි.
නමුත් බොහෝ දෙනා දේශපාලන වේදිකාවේ අවධානය යොමු කරන්නේ ප්‍රයෝජනයකින් තොර වෙනත් දේවල් වලටයි.
එළඹෙන මාසය අවසන් වූ විට ඒ පිළිබඳ සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව අප විශ්වාස කරනවා.
මෙම අර්බුදය උත්සන්න අවස්ථාවේ පවතින විට ආහාර උද්ධමනය 70%ක්ව පැවතුණා.
එය 6% දක්වා අඩු වී තිබෙනවා.
එවකට රුපියල් හාරසීයකටත් වඩා වැඩිමුදලක් ඩොලරයට ගෙවූ අතර මේ වන විට එය රුපියල් තුන්සියයක මට්ටමකට පැමිණ තිබෙනවා.
ඒ නිසා ඛනිජ තෙල්, ඖෂධ ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය දේවල් වලට ගෙවිය යුතු මිල අඩු වී තිබෙනවා.
බින්දුව දක්වාම සිඳී පැවති විදෙස් සංචිත 4.5 දක්වා වැඩි වී තිබෙනවා.2027 වන විට එය 17% දක්වා වැඩි කර ගත යුතුව තිබෙනවා.
පවතින තත්ත්වය තුළ නතර වී තිබෙන සංවර්ධන කටයුතු සියල්ල සිංහල අලුත් අවුරුද්දෙන් අනතුරුව ආරම්භ කිරීමට අප කටයුතු කරනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි මහතා, හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතා, ප්‍රදේශයේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානින් සහ නියෝජිතයින්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.