වසර 600 කට වඩා පැරණි ත්‍රිකුණාමලය වේරුගලම්පදි ශ්‍රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්‍යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කෝවිල් පරිශ්‍රයේදී ඊයේ (23) පැවැත්වුණා.
කෝවිල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් මුදල් ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට දන්වන බවත්, කෝවිල ගංවතුරට යටවන ස්ථානයේ ආරක්ෂක බැම්මක් සැකසීම සඳහා ඉන්දීය ආධාර ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
එසේම කෝවිලේ ඇති පැරණි දේව රූප පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන බවද විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම කෝවිලේ පවත්වාගෙන යනු ලබන හින්දු දහම් පාසලේ පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
උතුර නැගෙනහිර ප්‍රධාන අධිකරණ සංඝනායක දෙවන පියවර ඉන්ද්‍රාරාමාධිපති පොල්හෙන්ගොඩ උපරතන, ලංකා පටුන ශ්‍රී සමුද්‍රගිරි රජමහා විහාරයේ විහාරාධිපති අම්බේගමුවේ අස්සජි යන ස්වාමීන්වහන්සේලා, වේරුගලම්පදි ශ්‍රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිලේ කුරුක්කල් සිවශ්‍රී සසිදරන් සහ හින්දු පූජකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති කපිල අතුකෝරළ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් එච්.එන්.කුමාරි, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්යක්ෂ වයි.අනුරුත්තනන්, වාරිමාර්ග දෙපාර්තමේන්තු අධ්යක්ෂ ඉංජිනේරු සිව සුබ්‍රමණියම්, යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.