පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව වඩා වේගයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ශක්තිමත් මානව සම්පතක් තිබූ නිසා බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ පාඨමාලා හැදෑරූ ඩිප්ලෝමාධාරීන් හට ඩිප්ලෝමා සහතික ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින්.
නිර්මාණකරණ (Design) ක්ෂේත්රයේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරන ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යාපන අංශය වන ශ්‍රී ලංකා ජාතික පිරිනිර්මාණ ආයතනයේ පාඨමාලා හැදෑරූ ඩිප්ලෝමාධාරීන් හට ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (21) පැවැත්වුණා.
දේශීය නිෂ්පාදන සහ ඉදිකිරීම් කර්මාන්තවල දියුණුවත් සමඟ එම කර්මාන්ත සඳහා අවශ්‍ය වෘත්තීය හැකියාවෙන් හා නිපුණතාවයෙන් යුත් මෝස්තර නිර්මාණකරුවන් බිහි කරන ජාතික මෝස්තර මධ්‍යස්ථානය 2021 -2023 වසර වලදී ජීවන රටා නිමැවුම් පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව, අභ්‍යන්තර අලංකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හා අභ්‍යන්තර අලංකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව යන පාඨමාලා හැදෑරූ ඩිප්ලෝමාධාරින් 75 දෙනෙක් සඳහා ඊයේ ඩිප්ලෝමා සහතික ප්රදානය කළා.
කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් ලෝකය පුරාම පවතින බවත්, ඇඟලුම් වලට මෝස්තර නිර්මාණවලින් ලැබෙන දායකත්වය අති විශාල වන නිසා රටට විදේශ විනිමය ලබාදීමේ වැඩි අවස්ථාවක් මෙම මෝස්තර නිර්මාණ ක්ෂේත්රය සතුවන බව පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රමේෂ් පතිරණ අමාත්‍යවරයා,
“අවුරුදු 450ක් වැනි දීර්ඝ කාලයක් අර්ධ වශයෙන් හා පූර්ණ වශයෙන් යටත් විජිතයක් ලෙස පැවති ශ්‍රී ලංකාව එලෙස යටත් විජිත ලෙස පැවති කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉහළ දියුණුවක් ලබා තිබෙනවා.
මෙයට හේතුව ලංකාවේ ශක්තිමත් මානව සම්පතක් තිබීමයි.
ශ්‍රී ලංකාව ලෝක මානව සම්පත් දර්ශකයේ ඉහළ ස්ථානයක සිටිනවා.
රටවල් 190ක් අතරින් 73 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.
නිදහසින් පසුව ලංකා රජය නිදහස් අධ්‍යාපන පනත සම්මත කර, නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී අධ්‍යාපනය දියුණු කිරීමට විශාල වශයෙන් කටයුතු කරා.
මේ වන විට ලංකාවේ නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයද ඉතා විශිෂ්ට තත්ත්වයක පවතිනවා.
මෙම ප්‍රධාන හේතූන් 2 ලංකාවේ මානව සම්පත වඩාත් ශක්තිමත් කිරීමට හේතු වුණා.
ලෝකයේ අනිකුත් රටවලට වඩා ඉක්මනින් පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුද වලින් මිදීමටද ශ්‍රී ලංකාවට හැකි උනේ මෙම ශක්තිමත් මානව නිසා” යැයි පැවසුවා.
විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශිෂ්ඨතා පදක්කම් ප්රදානය අමාත්‍යවරයා විසින් සිදු කළ අතර මෙම උත්සවයේ ආරාධිත දේශනය පවත්වමින් මෙගා හීටස් පුද්ගලික සමාගමේ (Mega Heaters Pvt Ltd) සභාපති උපාලි ජයසේකර මහතා විසින් රටක සංවර්ධනයට ව්‍යවසායකත්වයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූවා.
මෙම අවස්ථාවට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නන්දනී සමරවික්‍රම, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල සභාපතිවරුන්, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක M.N.F. ෂාහිණා මහත්මිය ඇතුළු ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ නිලධාරීන්, ඩිප්ලෝමාධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුණා.