2023 වසර තුළ මෙරට සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්රය විසින් 2.6%ක ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකිවී තිබෙනවා.
මෙම තත්ත්වය 2022 වාර්තා වූයේ ඝෘණ වර්ධනයක් වශයෙන්.
එය 4.2%ක්.
එමෙන්ම 2023 වර්ෂයේ දී මෙරට වී වගාවේ 20%ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී ඇති අතර අනෙකුත් ස්ථිර බෝග 8.9%ක්, පලතුරු වගාව 7.2%ක්, කරදිය ධීවර කටයුතු 4.9%ක්, එලවළු 3.2%ක්, ධාන්‍ය වගා කිරීම 2.9%ක්, සත්ව නිෂ්පාදනය 1.8%ක්, කෘෂිකාර්මික සහාය සේවා කටයුතු 1.5%ක් ද වශයෙන් ධන වර්ධනයක් අත්පත් කර ගෙන ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
අප්‍රේල් මස 18 දින පෙරවරු 10.16ට යෙදෙන ජාතික පැළ සිටුවීමේ නැකතට අවශ්‍ය පැළ ලබා ගැනීම සඳහා බීජ රෝපණය කිරීම ඊයේ (20) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
එහිදී ගෙවතු වගාවන්ට යොදා ගන්නා පැළ මෙන්ම පඨක රෝපණ ක්‍රමයට සකස් කරන ලද කෙසෙල් පැළ ද අමාත්‍යවරයා ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් රෝපණය කරනු ලැබුවා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරු ද සහභාගි වී සිටියා.
මෙහිදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මස 18 දිනට යෙදී ඇති නැකතට පැළයක් වැඩ සටහනට සමගාමීව ගෙවතු 100,000ක්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ගෙවතු 30,000ක් ද වගා කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළා.
එමෙන්ම කුඩා තේවතු සංවර්ධන අධිකාරිය විසින් තේ වගාවන්හි පාළු සිටුවීම සඳහා තේ පැළ මිලියනයක්ද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පුවක් පැළ මිලියන 1.7ක් ද රෝපණය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන් කළා.
එමෙන්ම ඉදිරි කාලය තුළ තමන්ට අවශ්‍ය එලවළු හෝ පළාවර්ග තම ගෙවත්තේම වගා කර ගැනීම සඳහා ඵල දරණ කුමන හෝ පැලයක් රෝපණය කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මීට අමතරව 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා පූජා කරන අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් මස 06වන දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ද මෙම මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම මාධ්‍ය හමුවට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා ද සහභාගි වුණා.