කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී චීන ජාතික කාන්තාවක් ඇයගේ කුඩා දියණිය , මෙතෙක් කළක් බලා ගත් ශ්රී ලාංකික සේවිකාවට දී , පළා කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අදාළ කාන්තාව ඇය ගුවන් යානයට පිවිසීමට සූදානම් වෙමින් සිටියදීයි.
ඇය 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන ඇය 58 හැවිරිදි සිය මව සමග ඩුබායි හි කුළී පදනමට ලබා ගත් නිවෙසක වාසය කර තිබෙනවා.
ඇය දියණියන් දෙදෙනෙකු සිටින අතර එයින් වයස අවුරුදු 03 යි මාස 06 ක් වන බාළ දියණිය , ඇය බලා ගැනීමට සිටින ශ්රී ලාංකික සේවිකාවට දැඩි ලෙන්ගතුකමක් දැක්වූ බව සඳහන්.
මෙම ශ්රී ලාංකික සේවිකාව කුරුණෑගල , පොල්ගහවෙළ , පොතුහැර ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක්.
ඇය පසුගිය දා තම සේවා කාළය අවසන්ව යළිත් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙම වෙන්වීමෙන් චීන ජාතික කුඩා දැරිය මහත් අපහසුතාවයට පත් වී සිටි අතර , ඇය අස්වසාලන්නට නොහැකි තත්වයකට මෙම චීන ජාතික මව පත් වී සිටි බවද ඇය ප්රකාශ කර තිබෙනවා.
මේ කිසිවක් සඳහන් නොකළ මෙම චීන කාන්තාව , ශ්රී ලාංකික සේවිකාව අමතා , තමන් ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන බවත් , ඔවුන් රැගෙන යාම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් දන්වා තිබෙනවා.
ඒ අනුව ඇය පිළිගැනීම සඳහා මෙම සේවිකාව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , මෙම චීන ජාතික කාන්තාව , ඇයගේ මව සහ බාළ දියණිය රැගෙන ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණ ගැසී ඇති අතර , මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව , ඇයගේ බාළ දියණිය ශ්රී ලාංකික සේවිකාව අතට දී එකවරම ගුවන් තොටුපොළෙන් අතුරුදහන් වී තිබුණා .