එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවට සහභාගී වීමට හෙට සිට රටවල් 35ක රාජ්‍ය නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පැමිණෙති.
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා- පැසිෆික් කළාපීය සමුලුව මෙම මස 19 සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.
මෙම සමුළුවට ආසියා පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම අමාත්‍යවරු නියෝජ්‍ය අමාත්‍යවරු මෙන්ම නිලධාරින් ද 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Qu Dongyu මහතා මෙම මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්ථානය, බංග්ලාදේශය ආදි රටවල් රැසක කෘෂිකර්ම අමාත්‍යවරු මෙම සමුළුවට සහභාගි වීමට නියමිත බව මේ වනවිටත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
37වන ආසියා පැසිපික් සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ අවසන් සාකච්ඡාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (16) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුව මෙයයි.
වර්තමාන රජයේ ආර්ථික වැඩ පිළිවෙළට මෙන්ම ජනජීවිතය නංවාලීම සඳහා එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය කාලය තුළ ඩොලර් මිලියන 100කට අධික මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මෙරටට ලබා දී ඇති අතර එම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් Qu Dongyu මහතා පුද්ගලිකවම මෙරටට ලබා දුන් සහයෝගය අතිශයින් අගය කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ලබන 19වන සඳුදා දින රටවල් ගණනාවක් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සාකච්ඡා හිල්ටන් හෝටලයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් ගණනාවක අමාත්‍යවරු සමඟ පැවැත්වේ.
මෙම සමුළුව හැම අතින්ම ශ්‍රී ලංකාවට වාසිදායක වන බව සඳහන් කළ අමාත්‍යවරයා අවුරුදු 57කට පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ වැඩ පිළිවෙළ කෙරෙහි ලෝකය තබා ඇතී විශ්වාසය තහවුරු කරන්නක් බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.