දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලූ කොමිසම මගින් තමන්ට එරෙහිව කළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දෙවන දිනටත් ඊයේ ආරම්භ කෙරුණා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි මෙම කොමිසම පත් කර තිබුණේ.
එමගින් තමන්ට එරෙහිව කළ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු මහාධිකරණ ලේකම් පද්මිණී රණවක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඇතුළු 09 දෙනෙකුයි පෙත්සම් ගොනු කර ඇත්තේ.
දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වෙනුවෙන් රජය රුපියල් මිලියන 33ක් නීති විරෝධිව යොදා ගත් බවට එම කොමිසම එවකට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාට චෝදනා කර තිබුණා.
ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙසටයි කොමිසම නිර්දේශ කර තිබුණේ.
එම නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ඒ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා සදහන් කළේ සමන් ඒකනායක මහතා කටයුතු කර ඇත්තේ නීතියට අනුකුලව බවයි.
දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය මගින් නීත්‍යානුකූලව පිහිට වූ ආයතනයක් බව ද ඒ සදහා මුදල් වෙන් කරන ලද්දේ කැබිනට් මණ්ඩලය විසින් තමන් වෙත කරන ලද නියෝගයකට අනුව බව ද ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
අදාළ චෝදනා පිළිබදව කරුණු ඉදිරිපත් කිරීමට පවා සමන් ඒකනායක මහතාට අවස්ථාවක් ලබා නොදුන් බවයි ජනාධිපති ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙන්වා දුන්නේ.
ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමන් ඒකනායක මහතා වෙනුවෙන් පෙනී සිටියා.