fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංගම ප්‍රාදේශීය කළමනාකාරවරුන්ගේ සහ ඉහළ කළමනාකාරීත්වයේ වාර්ෂික හමුවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 10:54

ලංගම ප්‍රාදේශීය කළමනාකාරවරුන්ගේ සහ ඉහළ කළමනාකාරීත්වයේ වාර්ෂික හමුවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරුන්ගේ සහ ඉහළ කළමනාකාරීත්වයේ වාර්ෂික හමුව ප්‍රවාහන, මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ මහරගම ඩිපෝ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණා.

ආයතනයේ එක් එක් අංශයන් හී පසුගිය වසරේ අත්කරගත් ප්‍රගතිය සහ මෙම වසරේ ලඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක සහ සැලසුම් පිලිබඳ මෙහිදී එක් එක් අංශ ප්‍රධානීන් විසින් පැහැදිලි කළා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

” හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු, උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු, වෙළඳ අමාත්‍යවරයෙකු, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ සෑම අමාත්‍යාංශයකදීම සොරකම වංචාව දූෂණයකින් තොරව රටට අලුත් යමක් ඉතිරි කිරීමට මා කටයුතු කළා.

ඉතිහාසයේ මැති ඇමති දුර දැරූ බොහෝ දෙනෙකුට තම ධූර කාලය තුළ රටට ඉතිරි කළේ කුමක්ද යන්න පිළිබඳව විමසීමේදී බොහෝ දෙනෙකුට ප්‍රකාශ කිරීමට යමක් නැහැ.

නමුත් වෙළඳ අමාත්‍යවරයා වශයෙන් රට පුරා ඇතිකළ ආර්ථික මධ්‍යස්ථාන ජාලය, ලක් සතොස නිර්මාණය, ඇතුළු වෙනස්කම් රාශියක් සිදු කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තාක්ෂණය වේදය විෂය ධාරාව උසස් පෙළට හඳුන්වා දුන්නා.

රට පුරා තාක්ෂණ විද්‍යාගාර දහසක් ඉදිකළා.

ඒ ආකාරයෙන් අප රටට ඉතිරි කර යමක් තිබෙනවා.

නමුත් බොහෝ දෙනෙකුට එවැනි ඉතිරි කළ යමක් නැහැ.

එමෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වලට කිසිදු අවස්ථාවක පෞද්ගලික ඥාති සබඳතා, හිතවත්කම්, දේශපාලන සබඳතා මත කිසිදු ප්‍රධානියකු පත් කර නැහැ.

අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සෑම ආයතනයකටම ඒ ඒ ආයතන විෂය පථයට අදාල විශේෂඥ දැනුමක්‌ සහිත වෘත්තිකයින් පත් කරන්නට අප පියවර ගෙන තිබෙනවා.

එම නිසා මෙම ආයතන පවත්වාගෙන යෑමේදී මට දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ.

එම නිසා වැටී තිබෙන තැනින් රට ගොඩ ගැනීමට සියලු දෙනා පක්ෂ පාට භේදයකින් තොරව එක්ව කටයුතු කළ යුතුයි.

එසේ නොවූ අවස්ථාවල රට තුළ උද්ගත වූ තත්ත්වයන් හමුවේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී අත්දැකීම් වලට අප සියලු දෙනා මුහුණ දී තිබෙනවා.

ඒ සියල්ලේ අවසන් ප්‍රතිඵලය රට බංකොලොත්භාවයට පත්වීමයි.

දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් විදේශීය ණය නොගෙවීම මත තවදුරටත් කිසිදු සංවර්ධන කටයුත්තකට, පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය බස් රථ ලබාගැනීමට ආදී කිසිදු කටයුත්තකට අලුතින් විදේශ ණය ලබාගැනීමට හැකියාවක් අපේ රටට නැහැ.

එම නිසා ජාත්‍යන්තර සංවිධාන වල සහ විදේශ විශේෂඥ සමාගම්වල සහයෝගයෙන් ණය නැවත ගෙවීම පිළිබඳව වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

ඉදිරි වසර 25-30ක කාලය තුළ ඒ වැඩපිළිවෙලට අනුව කටයුතු කිරීම අනිවාර්යයි. ඉන්දියාව, ජපානය, පැරිස් ආධාර කණ්ඩායම වෙනම වැඩපිළිවෙලක් සඳහා අත්සන් තැබීමට එකඟතාවය පළකර තිබෙනවා.

චීනය වෙනම අත්සන් තැබීමට එකඟතාවය පළ කර තිබෙනවා.

එම වැඩපිළිවෙලට අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වනවා.

මේ සියලු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 2025 වන විට ලංකා ගමනාගමන මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය වනවා.

ඒ සඳහා මුලින්ම ආයතනය තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතාවයන්,වංචා,දූෂණයන් මැඩ පැවැත්විය යුතුවනවා.

සුළුතර පිරිසකගේ මෙවැනි ක්‍රියා නිසා ආයතනයට දෛනිකව විශාල මුදලක් අහිමි ව යනවා.

එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුළ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයක් ලංකා ගමනාගමන මණ්ඩලයට හඳුන්වා දීමට අප කටයුතු කරනවා.

ඉන්දියාව කොරියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් 2030 වසර වන විට පොදු ප්‍රවාහන සේවා බස් රථ විදුලියට පරිවර්තනය කිරීමේ ඉලක්කයකින් යුතුව කටයුතු කරනු ලබනවා.

ඉතියෝපියාව කෙන්යාව වැනි අප්‍රිකානු රටවල් පවා මේ වන විට විදුලි බස් රථ භාවිතා කරනවා.

පසුගියදා ලෝක බැංකුවේ නියෝජිත තුමිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී විදුලි බස් රථ ලබා ගැනීම සඳහා මා විසින් විශේෂ ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළින් අනතුරුව මහනුවර ප්‍රදේශයටත් විදුලි බස් රථ 200 ව්‍යාපෘතියක් ලෝක බැංකු ආධාර යටතේ ලැබීමට නියමිතයි.

එළඹෙන වසර තුළ විදුලි බස් රථ 400ක්‌ ධාවනයට එක් කිරීමේ හැකියාව ලංකා ගමනාගමන මණ්ඩලයට හිමිවනු ඇති.

පසුගියදා ඉන්දියාවේ පැවති විදුලි මෝටර් රථ ප්‍රදර්ශනය සහ සමුළුවට සහභාගි වූ අවස්ථාවේ ඉන්දියාවේ බස් රථ නිෂ්පාදන ආයතන වලින් මා විශේෂ ඉල්ලීම් කිහිපයක් සිදුකරනු ලැබුවා.

දැනට මෙරට පවත්වාගෙන යන ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ, සමාගම සතු කොටස් ප්‍රමාණය ඉහළ නංවා එම වැඩිවන කොටස්වල වටිනාකමට සමාන බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබාදෙන ලෙසත්, එම සමාගම යටතේම ශ්‍රී ලංකාව තුළ විදුලි බස් රථ නිෂ්පාදනය ආරම්භ කරන ලෙසත්, මැදවච්චිය ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු විශාල භූමි භාගය ප්‍රයෝජනයට ගනිමින් ආසියාවේ හොඳම බර වාහන රියදුරු පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කරන ලෙසත් එම සමාගමෙන් මා ඉල්ලීමක් කළා.

ඒ තුළින් එම ප්‍රදේශවල ජනතාවටද ආර්ථික ප්‍රතිලාභ රැසක් හිමිවනවා.

මෙම වසර තුල ඉන්දියාවෙන් තවත් බස්රථ දහසක් නැවත ගෙවීමේ පදනම යටතේ ලංගම වෙත ලබා ගැනීමට කටයුතු කරනවා.

සාම්ප්‍රදායිකව පවත්වාගෙන පැමිණි ටයර් මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනුවට ලාභදායී වැඩි දුරක් ධාවනය කළ හැකි දේශීය නිෂ්පාදනය කරන ලද ටයර් අඩු මිලකට ලබා ගැනීමට අප කටයුතු කළා.

ඒ හේතුවෙන් මේ වන විට අධිකරණයට ඉදිරියට යෑමට පවා අපට සිදුවී තිබෙනවා.

අමතර කොටස් ලබා ගැනීමට ද විධිමත් ක්‍රමවේදයක් අප විසින් සකස් කරනු ලබනවා.

ආයතනය මෙන්ම සේවකයින්ගේ ආරක්ෂා වෙනුවෙන්ද සෑම විටම අමාත්‍යවරයා ලෙස මා පෙනී සිටිනවා.

සියලු සේවකයින් සඳහා ආවරණය කෙරෙන ආකාරයෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීමටද මේ වන විට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඕනෑම අවස්ථාවක ඕනෑම ගැටලුවක් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව අප ලබා දී තිබෙනවා.

දැවැන්ත අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක කඩිනමින් නිවැරදි තීරණ ගැනීමට සෘජුව කටයුතු කිරීමට අපට හැකියාව තිබිය යුතුයි.

ආයතනය සතු වත්කම් නිසි ආකාරයෙන් කළමනාකරණය කරමින් නව ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි.”

ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ප්‍රාදේශීක කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2024 10:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්