fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 13:00

ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 42 ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙම තරගය ක්‍රිකට් වාර්තා කිහිපයක්ම අලුත් කළ තරගයක් බවට පත්වීම ද විශේෂත්වයක්.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 182 ක සබදතාවක් ගොඩනගා ගත්ත‌ා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 88 ක් ලබා සිටියදී දැවී ගියා.

ඉනිම පුරාවට විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පැතුම් නිශ්ශංක පන්දු 139 කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 210ක් රැස් කළේ ශ්‍රී ලාංකික පිතිකරුවකු ජාත්‍යන්තර එක්දින තරගයක වාර්තා කළ පළමු ද්විත්ව ශතකයේ හිමිකරුවා ද වෙමින්.

එය ජාත්‍යන්තර එක්දින පිටියේ ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ 12 වන ද්විත්ව ශතකය ද වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු එක්දින තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වුණා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2000 වසරේදී ඉන්දියාවට ලකුණු 189 ලබාගත් සනත් ජයසූරියයි.

පැතුම්ගේ ඉනිමට හයේ පහර අටක් සහ හතරේ පහර විස්සක් ඇතුලත් වුණා.

ඒ අනුව පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් වූයේ කඩුළු 03 ක් දැවී ලකුණු 381 ක් ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයේ පළමු කඩුලු 05 ලකුණු 55 ක් තුළ දවා ගැනීමට  ප්‍රමෝද් මධුෂාන් හා දුෂ්මන්ත චමීර සමත් වුණා.

එහෙත් 06 වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එකතු වූ මොහොමඩ් නබී හා අශ්මතුල්ලා ඔමාර්සායි විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 242 ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනැගීමට සමත් වුණා.

මෙය ජාත්‍යන්තර එක්දින තරගයක 6 වන කඩුල්ල වෙනුවෙන්  වාර්තා වූ දෙවන හොදම සබදතාවයි.

මොහොමඩ් නබී ලකුණු 136 ක් රැස් කළා.

නබී වාර්තා පොත්වලට එකතු වන්නේ එක්දින ශතකයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා ලෙසයි.

කෙසේ වුවත් ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් දැවී රැස්කර ගත හැකි වූ යේ ලකුණු 339 ක් පමණයි.

අශ්මතුල්ලා ඔමාර්සායි නොදැවී ලකුණු 149යි.

පන්දු යැවීමේදී ප්‍ර මෝද් මධුෂාන් ලකුණු 75 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 10, 2024 13:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්