fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක බැංකු නියෝජිතයින් සහ ඇමති පවිත්‍රා අතර විශේෂ සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 06:21

ලෝක බැංකු නියෝජිතයින් සහ ඇමති පවිත්‍රා අතර විශේෂ සාකච්ඡාවක්

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන වේගවත් කිරීමේ අවශ්‍යතාව ලෝක බැංකුව අවධාරණය කරනවා.

ලෝක බැංකුවේ තිරසර සංවර්ධනය සඳහා වන දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ඩිනා උමාලි ඩිනින්ගර් (DINA UMALI DIDIENINGER ) මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් සහ වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරුණා.

වාරිමාර්ග අමාත්‍යාංශයේ දී පසුගියදා (05) පස්වරුවේ පැවැති මෙම හමුවේ අරමුණ වී තිබුණේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමයි.

මෙහිදී ලෝක බැංකු නියෝජිතයින් පෙන්වා දුන්නේ, ව්‍යාපෘතියට අදාල අරමුණු වෙත කඩිනමින් ළඟාවීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් වෙත ප්‍රවේශ වන ලෙසයි.

ආර්ථික වශයෙන් වඩා ඵලදායි කොටස් හඳුනා ගෙන ඊට ප්‍රමුඛතාවය දෙමින් ඇමරිකානු ඩොලර් මිලියන 51 ක දක්වා වූ ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කර අවසන් කිරීමට මෙහිදී දෙපාර්ශවයම එකඟතාවට පැමිණියා.

එමෙන්ම, ලෝක බැංකුව හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් අතර පැවැති මෙම සාකච්ඡාවේදී අදාල වැඩසටහන නියමිත ඉලක්ක ගත දින වකවානු තුළ ක්‍රියාත්මක කර අවසන් කිරීමට තීරණය කෙරුණා.

මෙම අවස්ථාවට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය දේශගුණික විපර්යාස සහ ආපදා අවදානම් කළමනාකරණ ඒකකයේ පුහුණු කළමනාකරු, අභාස් ජා මහතා (ABHAS JHA) ඇතුළු ලෝක බැංකු නියෝජිතයින්, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ බන්දුල සිරිමල් මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වී සිටියා.

2021 වසරේ ආරම්භ වූ දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන අදියර තුනක් යටතේ ක්‍රියාත්මකයි.

සමස්ත ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 434 ක්.

එහි පළමු අදියර සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 93 ක් වන අතර, ඉන් ඩොලර් මිලියන 92 ක් ලෝක බැංකුව විසින් සපයන අතර ඇමරිකානු ඩොලර් මිලියනයක් ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් වැය කෙරෙනවා.

පළමු අදියර 2026 නිමා කිරීමට නියමිතයි.

පළමු අදියර ට ප්‍රධාන සංරචක පහක් අයත් වෙනවා.

(01) වර්ෂාව සමයේ ඇතිවන ගංවතුර තත්ත්වයන් හිදී පූර්ව අනතුරු ඇඟවීමේ තාක්ෂණික ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම හා ඒ සඳහා වන ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ස්ථාපනය කිරීම.

(02) කැලණි ගඟ හරහා අඹතලේ ඉදිකර ඇති තාවකාලික ලවණ බාධකය වෙනුවට ස්ථිර ලවණ බාධකය ඉදිකිරීම සහ කොළඹ නගරයට සහ කොළඹ වරාය නගරයට ජලය සැපයීමේ යෝජිත ව්‍යාපෘතියට අයත් යටියන්තොට වී ඔය ජලාශය ඉදිකිරීමේ ඉංජිනේරු සැලැස්ම සකස් කිරීම,

(03) ව්‍යාපෘති කළමනාකරණය.

(04) ජලය ආශ්‍රිතව කුමන හෝ මොහොතක ඇතිවන ආපදා තත්ත්වයන් හමුවේ ඉන් ඇතිවන බලපෑම් පාලනය කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම.

(05) ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් ගොවි ජනතාවට, කෙටි කාලීන ආර්ථික උපාය මාර්ග වෙත ළඟාවීම සඳහා ග්‍රාමීය වැව්, ඇළ මාර්ග නඩත්තුව සහ ප්‍රතිසංස්කරණ කිරීම තුලින් ආහාර බෝග වගාවට යටිතල පහසුකම් සැපයීම, ඒ මඟින් ආහාර සුරක්ෂිතතාව ඇතිකිරීම.

මේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 15 දිවයිනේ දිස්ත්‍රික් 25 වෙනුවෙන් වෙන් කෙරෙන අතර, එම මුදල් ගොවි සංවිධාන හරහා සංවර්ධන කටයුතු වලට යෙදවීමට පියවර ගැනෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 7, 2024 06:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්