සීඝ්රයෙන් නාගරිකරණය වන, උපාය මාර්ගික නගරයක් ලෙස වර්ධනය වන මාතර නගරයේ පානීය ජලය සහ ගංවතුර ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කොට මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා අනෙකුත් අදාළ ආයතන එක්ව ලෝක බැංකු ව්‍යාපෘතියෙහි දිගුවක් ලෙස සැලසුම් සහගත අධ්‍යයනයක් සිදු කොට වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (24) නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මේ සාකච්ඡාව සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, දකුණු පලාත් ජල සම්පාදන මණ්ඩලය, යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ලේකම්වරයා, අදාළ ක්ෂේත්රය සම්බන්ධයෙන් විශේෂඥයන් කැඳවා තිබුණා.
2023 වසරේ ඇති වූ නිල්වලා ගඟ ආශ්රිත ගංවතුර තත්ත්වය නිල්වලා නිම්නයේ ස්වභාවික තත්ත්වයක් ද, නොඑසේ නම් ඇති කරන ලද ලවණ බාධකය නිසා සිදුවූ තත්ත්වයක් ද යන්න මෙහිදී සභාපතිවරයා විසින් විමසුවා.
එහිදී අනාවරණය වූ කරුණු අනුව ජනතාවගේ ජල පහසුව පිණිස ඇති කරන ලද ලවණ බාධකය ද, මෙම ගංවතුර තත්ත්වය සඳහා සෘජුව බලපෑ සාධකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ගංවතුර හේතුවෙන් පසුගිය වසරේ සිදු වූ වගා හානිය සම්බන්ධයෙන් මාසයක් ඇතුලත ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට වාර්තාවක් ලබා දෙන ලෙස සභාපතිවරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා.
ලවණ බාධකයට අමතරව අයහපත් කාළගුණ තත්ත්වය මත ඇති වූ දැඩි වර්ෂාපතනය, නිල්වලා ද්‍රෝණියේ රොන් මඩ තැන්පත් වීම, පැරණි ලවන බාධකය ඉවත් නොකිරීම හරහා බාධක දෙකක් ඇති වීම හා වැලි බාධක ඉවත් නොකිරීමද මෙම ගංවතුර තත්ත්වය සඳහා බලපා තිබෙන බව මෙහිදී අනාවරණය වුණා.
ඇල මාර්ගවල රොන් මඩ ඉවත් කිරීම සහ නඩත්තු කිරීම සඳහා මුදල් සහ උපකරණ හිඟය හේතුවෙන් එම නඩත්තු කටයුතු නිසි ලෙස සිදු වී නොමැති බව ද හෙළිවුණා.
එමෙන්ම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී සකසන ලද විකල්ප තාවකාලික මාර්ග තවමත් ඉවත් කර නොමැති අතර, එය ද ගංවතුර තත්ත්වය සඳහා බලපා ඇති බව මෙහිදී අනාවරණය වුණා.
ජනතාවට දැඩි ලෙස බලපා ඇති මෙම සමාජ ප්රශ්නය ගැන ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී කාරක සභා සභාපතිවරයා ප්‍රශ්න කළ අතර, එහිදී හෙළිදරව් වූයේ මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටින බවත්, වැලි බාධකය ලවන බාධකයටත් වඩා මෙම ගංවතුර තත්ත්වයට බලපා ඇති බවයි.
එමෙන්ම නිල්වලා ආරක්ෂිත ප්‍රදේශයේ වැසි ජලය ගඟට මුදාහරින පොම්පාගාර සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීමේ ගැටළුවක් පැවති බවත් මෙහිදී අනාවරණය වුණා.
එම පොම්පාගාර මාරු කිරීමක් 1989 වැනි කාලයක සිට මේ දක්වා සිදු කර නොමැති අතර, 2010 දී පමණ නඩත්තු කිරීමක් පමණක් සිදු කර ඇති බවද අනාවරණය වුණා.
පැවති තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනයන්ගේ නිර්දේශ සහ මාර්ගෝපදේශයන් ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන මණ්ඩලය ක්‍රියා කර නොමැති බව ද මෙහිදී හෙළි වුණා.
මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය සහ අදාළ ආයතන එක්ව වැලි බාධකය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත්, අධිවේගී මාර්ගය සහ වෙනත් සංවර්ධන කටයුතු නිසා ඇති වූ අවහිරතා ඉවත් කිරීමට හා නිල්වලා ගංගාවේ කැනීම් සිදු කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර අප්‍රේල් මාසයට පෙර වාර්තාවක් ලබා දෙන ලෙසත්, අනාගත ජල අවශ්‍යතා සළකා බලා, පැවැති පැරණි ජලාශ 5 නැවත පණ ගැන්වීමේ හැකියාව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසත්, කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නා.
මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න හා ශෂීන්ද්‍ර රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, බුද්ධික පතිරණ, කරුණදාස කොඩිතුවක්කු හා වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද එක්ව සිටියා.