එක් තැන්ව සිටින අම්මාව වසර 25ක් ආදරෙන් රැක බලා ගන්නා අත්පා අබාධිත බෝසත් පුතෙක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 08:02

එක් තැන්ව සිටින අම්මාව වසර 25ක් ආදරෙන් රැක බලා ගන්නා අත්පා අබාධිත බෝසත් පුතෙක්

එක් තැන්ව සිටින අම්මාට වසර 25ක් කන්න අදින්න දී රැක බලා ගන්නා අත්පා අබාධිත ලාදුරු රෝගයෙන් පෙලෙන බෝසත් පුතෙකු පිළිබද පුවතක් උතුම් දුරුතු පුන් පොහෝ දින පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් වාර්තා වුණා.

ගල්කිරියාගම ,ගල්ලෙනවත්ත ප්‍රදේශයේ පදිංචි එම් .ඒ .සමන්ත පුෂ්පකුමාර (36) මහතා ලාදුරු රෝගයෙන් පෙලෙන තරුණයෙකු වන අතර පියා හැරගොස් ඇති නිසා තම අම්මාට වසර 25 ක කාලයක සිට කාගෙන් හෝ ඉල්ලාගෙන ආහාර පාන ඇදුම් පැළදුම් ලබාදෙමින් සිටිනවා.

මේ වනවිට සමන්තගේ මව එක්තැන් වී නහයෙන් දියර ආහාර පමණක් ලබාදෙන තත්වයට පත්ව තිබෙනවා.

තම මවට ප්‍රතිකාර ලබාදීම සඳහා සතියකට රු 6000 ක මුදලක් සොයා ගැනීමට අවැසි බවත් , අම්මා නිවසේ දමා පා පැදියෙන් ගොස් කාගෙන් හෝ මුදලක් ඉල්ලගෙන ඒමට නොහැකි වී ඇත්තේ මවට ඇප උපස්ථාන කිරීමට නොහැකි වන නිසාවෙන් බව සමන්ත පවසනවා.

සමන්ත පුෂ්පකුමාර මහතාගේ අදහස්

    “අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණා. මම හිතුවේ නෑ. ලාදුරු කියන රෝගය මේ තරම් ජීවිත  විනාශ කරන එකක් කියලා රෝගය හඳුනා ගත්තට පස්සේ අපේ තාත්තා අපිව දාල ගියා, මගේ අම්මා පොල්  ලෙලිගහල බොහොම දුක් විඳලා ගමක් පලාතක්   මාව ප්‍රතික්ෂේප කරනකොට පිළිකුල් කරනකොට මාව තුරුලු කරගෙන ජීවත් කළා. අවුරුදු   විසිපහක් පමණ  මෙ වෙනකොට මම අම්මව ජීවත් කරවනවා , මම බයිසිකලේ අරගෙන පුළුවන් විදියට කකුල් දෙකේ ලේ පෙරි පෙරි  දඹුල්ලට ,කැකිරාවට ,  ගල් නෑවට, ගලේවෙලට යනවා. දවසකට කිලෝමීටර් හතළිහක් පනහක් විතර මම බයිසිකලේ පදිනවා පාරෙ යන හැමෝගෙන්ම මම ඉල්ලාගෙන යන්නෙ නෑ. මට උදව් කරන කීප දෙනෙක් මම හඳුනාගෙන ඉන්නවා  ඒ මහත්වරුන්ට නෝනලාට ඇත්ත කියලා යම්කිසි මුදලක් හොයාගෙන හාල්බඩු මුට්ටු ටිකක් ඉල්ලගෙන ගෙදර එනවා මොකද පාර දිගේ හිගා කකා ගියේ  නෑ. මම අම්මගේ  නම්බුව රැකෙනා   විදිහට තමයි ඇත්ත කියලා ඒ අයගෙන් උදව් එල්ලුවේ. ඒ  මහත්වරු නෝනලා දන්නවා මම නැතිවෙනකොට විතරයි එන්නෙ කියලා.”

 “දවසක් මම එහෙම කැකිරාව පැත්තෙ  යන්ඩ ගියා. අම්මා කිව්වා රෑට කන්ඩ පාන් රාත්තලක්  අරගෙන එන්න කියලා. මම පානුත් අරන් එනකොට අම්මා   කලන්තෙ දාලා වැටිලා  ඉස්පිරිතාලෙට අරන් ගිහිල්ල තිබුනා. පස්සේ තමයි දොස්තර මහත්වරු කිව්වේ අම්මට නහරයක් පුපුරලා කියලා   අද වෙනකම් අම්මට නහයට බට දාලා මුත්‍රාංශවලට බට දාලා තියෙන්නේ මට අම්මගේ ඇඳුම් අන්දවන්න ඒවා කරන්න බැහැ ඒ නිසා අසල්වැසි  අයගෙන් උදව් අරගන ඒ වගේම මගේ නංගි කෙනෙක් ඉන්නවා ඒ නංගිට කතා කරලත් උදව් ඉල්ලගෙන තමයි අම්මගෙ වැඩ කරගන්න මට පුළුවන් හැමදේම මම කරනවා.

  අම්මා පිරිසිදු කිරීම් අම්මට අවශ්‍ය ආහාර පාන ටික හොයල දෙන එකට    මට අම්මව දාල යන්න විදිහක් නැහැ. හැම තිස්සේම එයාට දැන් තේරෙන්නේ නෑ සමන්ත පුතේ සමන්ත පුතේ බඩගිනියි කියලා කෑගහනවා. මම ගන්න බත් එකවත් කන්නේ නැහැ. හැම තිස්සේම මම කඳුළු සලමින් ඉන්නේ අම්මා ගැන හිතලා ඇවිද ගන්න අවස්ථාව තිබුනොත් අම්මගේ සියළු දේවල් කරන්ඩ පුළුවන් දැන් වෙලා තියෙන්නේ අම්මව දාල යන්න බැහැ.

ඒ නිසා මම කාගෙන් හරි උදව් ඉල්ලන්නේ මගේ අම්මට බෙහෙත් ගන්න සතියකට රුපියල් හය දාහක් විතර යනවා  අවශ්‍ය කිරි ටික ආහාර ටික බෙහෙත් ටික ගන්න මුදල් අවශ්‍යයි , පුළුවන් කවුරුහරි ඉන්නවනං මට උදව් කරන්න අම්මා ජීවත්ව ඉන්නකං විතරක්. ඊට පස්සේ මට පන්සලකට ගිහිල්ලා හරි මොනවා හරි ටිකක් කාලා ජීවත් වෙන්න පුලුවන් ,

 මගේ අම්ම කටු මැටි පැලක හිටියෙ දඹුල්ලේ ව්‍යාපාරික මහත්තයකුයි රංගිරි දඹුලු රජමහා විහාරයේ භාරකාර  අඹගස්වැවේ  රාහුල නායක හාමුදුරුවොයි තමයි මේ කාමර දෙක අපට හදලා දුන්නේ මීට අවුරුදු නවයකට විතර කලින්.”

මව ජිවත් කරවීම සඳහා කාගේහෝ උපකාරයක් ලබා දෙනලෙස ඔහු සමාජයෙන් ඉල්ලා සිටි .ඔහුගේ ලිපිනය  එම් .ඒ .සමන්ත පුෂ්පකුමාර,ගල්ලෙනවත්ත,ගල්කිරියාගම.

දුරකථන අංකය 0742397754 ගල්කිරියාගම මහජන බැංකුවේ ඔහු නමින් පවතින ගිණුම් අංකය 301 12 00 1 700 28685

ITN News Editor
By ITN News Editor ජනවාරි 25, 2024 08:02