fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තෙලිජ්ජවිල වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 17:18

තෙලිජ්ජවිල වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයාගනී

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ දුරකතන උපාංග අලෙවි සැලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් විසි දෙහැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම යතුරුපැදිය නාදුගල්ල වේල්ලබෑවුම් ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගත්තා.

මෙම වෙඩි තැබීම ඉලක්කය වැරදීමකින් සිදුවූ බවටයි පොලීසිය සැක කරන්නේ.

මාතර තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි දුරකතන උපාංග සහිත වෙළෙදසැලකට නාදුනන පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රී 8ට පමණයි.

මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඡායා පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් වෙළෙදසැලට පැමිණ ඇති අතර එහිදී  එහිදී ඡායාපිටපත් නොමැති බව ප්‍රකාශ කිරීමත් සමග පිටව ගොස් තිබෙනයවා.

පසුව දෙවන වරටත් ඔවුන් වෙළෙදසැලට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් මියගියේ දෙනිපිටිය,  මූනමල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි මින්දික අලුත්ගමගේ නමැති විසිදෙහැවිරිදි තරුණයෙකුයි.

ඔහු සිය මිතුරාගේ දුරකතන උපාංග අලෙවිසැලට පැමිණ සිටි අවස්ථාවේදීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ. වෙළෙදැලේ  හිමිකරු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් ඉලක්කය වැරදී මෙම තරුණයාට වැදී ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මේ අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානයට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අනුරුද්ධ බුද්ධදාස මහතා ඊයේ රාත්‍රියේ පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළා.

එම අවස්ථාවේ වෙළදසැල් හිමිකරු මහේස්ත්‍රාත්වරයාට ලබාදුන් ප්‍රකාශයකට අනුව වෙළදසැල් හිමිකරුට ආරක්ෂාව ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ ආරම්භ කර ඇති අතර වෙඩි තැබීම සදහා පැමිණි යතුරුපැදිය තිහගොඩ,  නාදුගල්ල වේල්ලේබෑවුම ප්‍රදේශයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගැනුණා.

යතුරු පැදියේ ඉදිරිපස සහ පසුපස අංක තහඩු ගලවා තිබූ බවටයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරුවන්ගේ බවට සැකකෙරෙන ඇදුම් කිහිපයක් හා යතුරුපැදි හිස්වැසුම් ද පොලිසිය සොයා ගත්තා.

යතුරුපැදියේ ඉන්ධන ටැංකිය මත තිබී ඇගිලි සළකුණු කිහිපයක් හා අත්ල සටහන් සොයාගැනීමට ඇගිලි සටහන් රෙජිස්ටාර් කාර්යාලයේ නිලධාරීන්ට හැකිවුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්