fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාතර, කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහලේ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 15:28

මාතර, කඹුරුගමුව දිස්ත්‍රික් මහ රෝහලේ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව විවෘත කෙරේ

2030 වනවිට හෘද රෝග හේතුවෙන් සිදුවන මරණ අභිබවා පිළිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණයේ ඉහළ යාමක් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන බව සෞඛ්‍ය ලේකම්වරයා පවසනවා.

පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීම අරමුණු කරගෙන මාතර, කඹුරුගමුව “ලැබීම” නව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 80 ක වියදමින් ඉදිකළ “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ඊයේ (20)‌ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් රෝගී සත්කාර සේවා සදහා විවෘත කරන ලදි.

මාතර මහ රෝහලේ ආරාධනයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත දෙස් විදෙස් සැදැහැවත් ජනතාවගේ පුණ්‍යාධාර යොදාගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මෙම “අපේක්ෂා පියස- මාතර” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව ස්ථාපනය කිරීමට පියවර ගෙන ඇත.

මාතර බෝධි ආරක්ෂක සභාව විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2019 වසරේ දී ය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ පිළිකා රෝගීන් අඩු කීරීම සදහා ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරනවා මෙන්ම රෝග නිවාරණ අංශය ශක්තිමත් කිරීම ඉතා වැදගත් වන බවයි.

කල් ඇතිව රෝගීන් හදුනා ගැනීම, වළක්වා ගැනීම, ආහාර රටාවන් වෙනස් කිරීම, ව්‍යායාමවල යෙදිම වශයෙන් රෝග නිවාරණ අංශයේ වැඩපිළිවෙල රාශියක් තිබිය යූතු බවත්, ඒ සදහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල ශක්තිමත් කළ යුතු බව ද පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි දැනට සිදුවන මරණ අතරින් වැඩිපුර මරණ සිදු වන්නේ හෘද රෝග හේතුවෙන් බවත්, 2030 වසර වන විට හෘද රෝග අභිබවා පිළිකා රෝග නිසා සිදුවන මරණ වැඩි වන බව සදහන් බව ද පැවැසීය.

මාතර බෝධි ආරක්ෂක සභාව සමාජ, සෞඛ්‍ය, අධ්‍යාපනික යන අංශ සදහා විශාල සත්කාරයක් සිදු කරන බවත්, සෞඛ්‍ය සේවාවන් ඉදිරියට ගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය 2024 වසරේ රුපියල් බිලියන 407 ක් ප්‍රතිපාදන ලබාගෙන තිබෙන බව ද පැවසීය.

වසරකට ඖෂධ සදහා පමණක් බිලියන 180 ක් වෙන් කර තිබෙන බවත්, ජනතාවගේ මුදල් හරිහැටි කළමණාකරණය කර ගුණාත්මක ඖෂධ සැපයීම අපගේ වගකීමක් හා යුතුකමක් වන බව ද පෙන්වා දෙන ලදි.

මාතර රෝහලට පමණක් දෛනික කටයුතු සිදු කරගෙන යාම සදහා වාර්ෂිකව මිලියන 500 කට වඩා වැඩි මුදලක් ලබාදෙන බව ද අඩුපාඩු තිබුණත් සෞඛ්‍ය දර්ශක ඉහළින් තිබෙන මෙම කලාපයේ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් පවතින එකම රට ශ්‍රී ලංකාව බව ද පැවැසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම්වරයා,

“පසුගිය සතියේ ශ්‍රී ලංකාව ආසියාව තුළ නැවත වරක් ඇගයීමට ලක් කළා. ඒ හෙපටයිටිස් බී රෝගය පාලනය කළ රටක් වශයෙන්. ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියානු කළාපයේ රටවල් 02 ක් හදුනා ගත්තා. ඒ ශ්‍රි ලංකාව සහ මාලදිවයිනයි.

මෙරට විශේෂඥ වෛද්‍යවරු එංගලන්තයට යනවා පුහුණු සදහා. අපි ගොඩක් වෙලාවට ආදර්ශයට ගන්නේ එංගලන්තය.

එංගලන්තයේ හදිසි ප්‍රතිකාර අංශයකට ගිහින් පැය 05ක්, 06ක් බංකුවක ඉදගෙන ඉන්න වෙනවා ඇතුලත් වීම සදහා. විශේෂඥ වෛද්‍යවරයෙක් දකින්න අවුරුද්දක් පමණ ඉන්න වෙනවා.

නමුත් අපේ රටේ කොතරම් අඩුපාඩු තිබුනත් පැය භාගයකින් පැයකින් වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා ඖෂධ ටික ලැබෙනවා. මේ වටිනා සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම අපගේ යුතුකමක් සහ වගකීමක් වෙනවා.

මෙහිදී “අපේක්ෂා පියස” පිළිකා රෝගී ප්‍රතිකාර වාට්ටුව සදහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් උපදේශණ සේවාවන් ලබාදුන් ඉංජිනේරු මහත්වරුන් ඇගයීම හා ඔවුනට සමරුඵලක ප්‍රදානය කිරීම ද සිදු විය.

මාතර නගරයේ ව්‍යාපාරික ප්‍රජාවේ එකතුවක් වන මාතර බෝධි ආරක්ෂක සභාව විසින් සමාජ සුබසාධන වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කරනු ලබන අතර, මාතර, හම්බන්තොට, රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට සේවා සලසනු ලබන, මාතර මහ රෝහල සදහා ද විශාල දායකත්වයක් ලබාදෙමින් වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇත.

මෙම අවස්ථාවට මාතර බෝධි ආරක්ෂක සභාවේ අනුශාසක, විහාරාධිපති, පූජ්‍ය තිස්සමහාරාමයේ ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අන්‍යාගමික පූජකතුමන්ලා, මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය, මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩි.යූ කරුණාරත්න, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත, මාතර බෝධි ආරක්ෂක සභාවේ සභාපති තිලක් ජ‌යසේකර, ලේකම් වෛද්‍ය හර්ෂ මීමැඩුම, මාතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් වන මහිලාල් විඡේකෝන්, හසන්ති ජයලත් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ මාතර බෝධි ආරක්ෂක සභාවේ සාමාජික මහත්වරුන් ඇතුලු වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 21, 2024 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්