පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණකුමාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ටවර්හෝල් රඟහල පදනමේ ඉදිරිකටයුතු පිළිබඳ සාකච්ඡා වුණා.
2024 වසර අභියෝගාත්මක වසරක් බව පෙන්වා දුන් ටවර්හෝල් රඟහල පදනමේ අධ්යක්ෂ ජනරාල් ඩී. එම්. එස් දිසානායක මහතා පවසා සිටියේ ආයතනයේ 2024 වසර සදහා අපේක්ෂිත ආදායම සහ වියදම යන ද්විත්වයම රු මිලියන 169.5ක් බවයි.
ටවර්හෝල් රඟහල 1992 වසරේ සිට විදුලි ගාස්තු ගෙවීමෙන් නිදහස් කර තිබුණද 2023 වසරේ සිට විදුලි බලය සදහා ගෙවීම් කිරීමට සිදුව ඇති බැවින් අමතර මිලියන 57ක මුදල් ප්‍රමාණයක් විදුලි බලය සඳහා සහ වැටුප් ගෙවීම සඳහා යොදා ගැනීමට සිදුව ඇති බවද අධ්යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නා.
මේ අනුව එම මුදල් පදනම් විසින් උපයාගත යුතු බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ටවර්හෝල් රගහල පදනම විසින් ක්‍රියාත්මක කරනු ලබන නාට්‍ය හා රංගකලා පාසැලේ කටයුතු පිළිබදව ද අවධානය යොමු වුණා.
මේවන විට දමිල මාධ්‍යයෙන් ද පාඨමාලාවක් ආරම්භ කිරීමට හැකිවීමත් එය යාපනය ඇතුළු ප්‍රදේශවල වඩාත් ජනප්රියවී ඇති බවත් පෙන්වා දුන්නා.
මෙම පාඨමාලා ඇතුළු පදනමේ කටයුතු සම්බන්ධයෙන් විධිමත් ලෙස ප්‍රධාන මාධ්‍ය සහ සමාජමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය ලබා දීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා වුණා.
එහිදී මෙම රැස්වීමට සහභාගී වූ තරුණ නියෝජිතයන් අදහස් දැක්වූ අතර ඔවුන්ගේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවද නිලධාරීන් පැවසුවා.
ටවර්හෝල් රඟහල පදනමට අයත් සව්සිරිපාය ගොඩනැගිල්ලට අදාළව කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) සමග පැවති ගිවිසුම 2016 වසරේ අවසන් වුවද මේවන තෙක් කිසිදු ගෙවීමකින් තොරව ඉදිකිරීම් එම අධිකාරිය රැදී සිටිම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.
මේ හේතුවෙන් ආයතනයට ආදායමක් ලැබීමට ඇති අවස්ථාව මඟහැරී ඇති බව ද ටවර්හෝල් පදනමේ නිලධාරීහු පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යවරයාගේ අවධානයට යොමු කරන බව කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් වර්ණකුමාර මහතා පැවසුවා.
ටවර්හෝල් පදනම විසින් සංවිධානය කරනු ලබන සම්ස්ත ලංකා පාසැල් නාට්‍ය තරගාවලියේදී රංගනයට අමතරව නිෂ්පාදන කටයුතු සියල්ල සිදුකිරීමටද සිසු දරු දැරියන්ට ඉදිරි තරගාවලියේ සිට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බවද මෙහිදී අනාවරණය වුණා.
මීට අමතරව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් කටයුතු සහ ඉදිරි සැලසුම් පිළිඳබඳව ද මෙහිදී අවධානය යොමු වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර සුමිත්‍රාආරච්චි,නාලක බණ්ඩාර කෝට්ටගොඩ, සංජීව එදිරිමාන්න යන මහත්වරුද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ඇතුළු ටවර්හොල් රගහල පදනම සහ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.