ලෝක උරුමයක් වූ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙනවා.
සීගිරිය ලෝක උරුමයක් වුවද සීගිරියේ නව නගරයේ පදිංචිකරුවන්ට මෙන්ම සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට ලෝක කරුමයක් බව ඔවුහු අවධාරණය කරයි.
මේ දිනවල ඇද හැලෙන වර්ෂාවත් සමඟින් දේශීය සංචාරකයන් සඳහා වෙන්කර ඇති වාහන නැවතුම්පළ භූමිය සම්පූර්ණයෙන්ම වැසිකිළි උතුරා ගොස් අසූචි මිශ්‍ර ජලය පැතිරී දැඩි දුර්ගන්ධයක් හමා යන බවත් එම ජලය වෙළදසැල් ඇතුලෙන් ගලා බසින බව ජනතාව පෙන්වා දෙයි.
මාස ගණනාවක සිට මේ තත්වය පැවති අතර දඹුල්ල ප්‍රාදේශීය සභාවට මධ්‍යම සංස්කෘතික අරමුදලට දැනුම් දුන්නද මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ගෙන නැහැ.
කෙසේ වෙතත් මෙවන විට පොදු වැසිකිලි පද්ධති දෙකම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර දේශීය සංචාරකයන්ගේ සනීපාරක්ෂක කටයුතු හෝ සිදු කර ගැනීමට නොහැකිව පවතිනවා.
මීට පෙරද අවස්ථා ගණනාවක දේශීය සංචාරකයන් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ඉදිකර දුන් මෙම භූමිය පිළිබඳව ප්රවෘත්ති් රැසක් වාර්තා කර තිබුණා.
මෙම රථ ගාල ඉවත් කොට සීගිරියේ දෙස් විදෙස් සියලුම ජනතාවට එකම ස්ථානයක නව නගරයක් හෝ වාහන නැවතුම්පොළක් සකසා දෙන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම නව නගරයේ සැලසුම් සකස් කිරීම සඳහා වසර ගණනාවක සිට රාජ්‍ය මුදල් කොපමණ වියදම් කර තිබෙනවාදැයි ප්‍රශ්න කරනවා.
එහෙත් කිසිදු දවසක එම ඉදිකිරීම් හෝ නගරයේ කිසිදු සැලසුමක් නැති බවද පෙන්වාදෙන ඔවුන් සඳහන් කරන්නේ නව නගරයේ ඇති වෙළඳසැල් රැසක් මේ වන විටත් හිමිකරුවන් අතහැර දමා ඒවා කැඞී බිඳී විනාශ වී යන බවයි.
ලෝක උරුම බිම්කඩක් ලෙස නම් කෙරුණු ස්මාරකයද මේ වන විට විශාල ගස් කොලන් පැළවී විනාශ මුඛයට යන ජනතාව පෙන්වා දෙනවා.
සිගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරක එක් අයෙකුගෙන් රුපියල් දොළොස්දහසකට ආසන්න මුදලක් අය කරන අතර දේශීය සංචාරකයකු එක් අයෙකුගෙන් රුපියල් 120ක් මධ්‍යම සංස්කෘතික අරමුදල උපයා ගන්නා බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් එකම රුපියලක් හෝ ප්‍රදේශයේ සංවර්ධනයකට යෙදවීමකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කිහිපයක් නඩත්තු කිරීම පමණක් සිදුකරන බවයි ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මෙම වැසිකිළි පද්ධතිය මෙන්ම රථ ගාල දඹුල්ල ප්‍රාදේශීය සභාව මගින් පාලනය කරන බවත් එම භූමියේ පෞද්ගලික අංශයට ටෙන්ඩර් මගින් ලබා දී තිබෙන බවද පෙන්වා දෙනවා.
එහෙත් අසුචි සහිත වලවල් නිරන්තරයෙන් පිරී යාම නිසා ඔවුන්ට ගලි බහුසර දමා ඉවත් කිරීමේ කටයුත්ත ප්‍රාදේශීය සභාවෙන් සිදු කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.
මේ පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමේදී කියා සිටියේ මේ පිළිබඳව අවස්ථා ගණනාවක සැලසුම් කලද වර්ෂාව ලැබෙන විටදී මෙම භූමිය ජලයෙන් යට වී වැසිකිළි වළවල් උතුරා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම වළක්වාලීමට නොහැකි බවයි.