fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණයෙන් පවුල් 34,000කට බලපෑම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 18:07

අයහපත් කාලගුණයෙන් පවුල් 34,000කට බලපෑම්

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික් 13ක පවුල් 34,000කට ආසන්න පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

මොනරාගල නුවරඑළිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලින් පුද්ගල මරණ 03 ක් වාර්තා වුණා. අවතැන් වූවන්ට අඛණ්ඩව සහන සැලසෙන අතර වර්ෂාවෙන් වැඩිම හානි සිදුව ඇත්තේ නැගෙනහිර පළාතටයි.

මේ අතර පවතින වැසි තත්ත්වය තරමක් අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් පස් කදු කඩා වැටීම් හා ජල ගැලීම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇල උඩුවර 7 කණුව ප්‍රදේශයේ  නායයෑම අධිඅවදානම් තත්ත්වයක බව අදාළ අංශ පවසනවා. මේ අනුව ඊයේ පස්වරුව වන විට මාර්ගයේ එක් මංතීරුවක පස් ඉවත් කෙරුණු ද අද දිනයේදී එය වසා තැබීමටයි තීරණය කෙරුණේ. මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේදී නිරීක්ෂණය වූයේ මාර්ගයේ විශාල කොටසක් කඩාගෙන ගොස් ඇති බවයි. ඒ අනුව විකල්ප මාර්ග ලෙස බණ්ඩාරවෙල ඇටම්පිටිය මාර්ගය හා දෙමෝදර ස්ප්‍රිංවැලි මාර්ගය භාවිත කළ හැකියි.

පොලොන්නරුවේ සිට සෝමාවතිය දක්වා මාර්ගයේ සුන්ගාවිල ප්‍රදේශය ජලයෙන් යට වී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ අනුව සෝමාවතිය පුදබිම තුන්වන වරටත් ජලයෙන් යටවී ඇති බැවින් ඒ සදහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙසයි විහාරාධිපති හිමියන් ඉල්ලා සිටින්නේ. පුදබිම වටා කිලෝමීටර් එක හමාරක් දුරට අඩි 15 ක් උස බැම්මක් ඉදිකිරීම ආරම්භ කළ ද එය අතරමග නතර වී ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මේ අතර පුදබිමේ භික්ෂූන්වහන්සේට හා ආරක්ෂක නිලධාරීන් වෙත ආහාර ලබාදීම  බෝට්ටු අධාරයෙන් සිදු කෙරුණා.

උඩුදුම්බර හංවැල්ල කිරිමැටියාගොඩ කන්ද නායයෑමේ අවදානමක් හේතුවෙන් පවුල් 20 ක් පමණ ඉවත් කර තිබෙනවා. ඔවුන් ප්‍රදේශ‍යේ ප්‍රජාශාලාවක නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ මීට වසර කිහිපයකට පෙරද කිරිමැටිගොඩ කන්ද නායයෑමට ලක්ව නිවාස කිහිපයක්ම විනාශ වුණා.

අම්පාර දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාව අඩුවීමත් සමග ගල්ඔය ගඟෙහි ජල මට්ටම තරමක් පහත බැස තිබෙනවා. අද උදෑසන වන විට ඉගිනියාගල සේනානයක සමුද්‍රය වාන් දමමින් පැවතුනා. අම්පාර නගරයේ සුබසාධන කදවුරුවල පවුල් රැසක් මේ වන විටත් රදවා සිටිනවා. දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර දහස් ගණනක් ජලයෙන් යටවී ඇති අතර එම ප්‍රමාණය මෙතෙක් ගණනය කර නැති බව අම්පාර දිසා ලේකම් චින්තක අබේවික්‍රම මහතා පවසනවා.

ලුණුගම් වෙහෙර ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමත් සමග තිස්සමහාරාම යෝධ වැව වාන් දැමීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටව පවතිනවා. ලුණුගම්වෙහෙර ජලාශයෙන් නිකුත් වන ජලය කිරම ඔය දිගේ පැමිණ අටිකාව අමුණ විවෘත කිරීමත් සමග ප්‍රදේශයේ ජලගැල්මට ලක්ව ඇති බවයි ප්‍ර දේශවාසීන් පවසන්නේ. මේ හේතුවෙන් කුඹුරු අක්කර දහසක් විනාශ වී තිබෙනවා. පවුල් 300කට ආසන්න සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. කෝන් බැලෑන ප්‍රදේශයේ පවුල් 126 ක් මාගම ප්‍ර දේශයේ පවුල් 82 ක් සහ අන්දරගස්යාය ප්‍රදේශයේ පවුල් 17 ක් ඒ අතර වනවා.

ගංවතුර හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 50,000කට අධික ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබෙනවා. මෙවර දිස්ත්‍රික්කයෙහි කුඹුරු අක්කර එක් ලක්ෂ අසූ පන්දහසක වගා කෙරුණා. දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක වී අස්වනු නෙලීමටද මෙම තත්ත්වය බලපා තිබෙනවා.

මේ අතර පවතින වැසි තත්ත්වය තරමක් අඩු වුවද පළාත් කිහිපයක පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

 

***අශෝකා /අසංක / 11.01 ()

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්