fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වර්ජනයෙන් අසරණ වූ රෝගීන්ගේ පිලිසරණට යුද හමුදාව

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2024 11:58

වර්ජනයෙන් අසරණ වූ රෝගීන්ගේ පිලිසරණට යුද හමුදාව

රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යොදවා තිබෙනවා.

අවශ්‍යතාව මතුවන පරිදි භටපිරිස් යෙදවීම සඳහා ඔවුන් සුදානම් කරන්නැයි යුද හමුදාපතිවරයා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් තිස්පන්දහසක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් රෝහල් පරිපාලන නිලධාරීන් කණිෂ්ට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒකාබද්ධව සිදුකරන වර්ජනය  අද දිනයේත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වර්ජන ක්‍රියාවලියට සහාය නොදැක්වීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන් සදහා වන ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව රුපියල් 35000කින් ඉහළ නැංවිමට රජය තීරණය කිරීමත් සමග ඊට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 10ක් එක්ව වර්ජනයක් ආරම්භ කළා.

ඒ අනුව ශ්‍රී ලංකා මහජන සෞඛය පරීක්ෂකවරුන්ගේ සංගමය , අක්ෂි තාක්ෂණවේදීන්ගේ සංගමය , රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය , රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය , ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ආදීය ඊට එක්ව සිටිනවා.

මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේත් රජයේ රෝහල්වලට පැමිණි රෝගීන් අසීරුතාවට පත්වුණා.

කෙසේ වෙතත් ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල,මාතෘ රෝහල්වල , වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව මෙන්ම මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක වුයේ නැහැ.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ වර්ජන ක්‍රියාමාර්ග අසාර්ථක වී තිබෙනවා.

රෝහල් සේවකයින්ට සේවයට වාර්තා නොකරන ලෙසට වෘත්තිය සමිති ප්‍රකාශ කර තිබුණ ද ඊට රෝහල් සේවකයින් අප්‍රසාදය පළ කළ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හදිසි අනතුරු ළමා හෘද රෝග සැත්කම් ඇතුලු අංශ ගණනාවක කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරුණා.

කෙසේ වෙතත් බාහිර රෝගී අංශයේ කටයුතු ආරම්භ වීමට ප්‍රමාද වීම හේතුවෙන් රෝගීන් අපහසුතාවට පත්වන අයුරුද දක්නට ලැබුණා.

රෝහල් බලධාරීන් සිදුකළ ඉල්ලීමකට අනුව මහනුවර ශික්ෂණ රෝහල , පේරාදෙණිය ශික්ෂණ රෝහල , ගම්පොළ මුලික රෝහල යන රෝහල්වල අත්‍යාවශ්‍ය  සේවාවන් පවත්වාගෙන යෑම සඳහා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගෙන තිබෙන බවට වාර්තා වනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2024 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්