fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මිනිස් ජීවිත ආරක්ෂා කරන්න ජනප්‍රිය නොවන තීරණ ගැනීමට නොපැකිළිව කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 12:16

මිනිස් ජීවිත ආරක්ෂා කරන්න ජනප්‍රිය නොවන තීරණ ගැනීමට නොපැකිළිව කටයුතු කරනවා

බෝ නොවන රෝග මෙන්ම මාර්ග අනතුරුවලින් මෙරට වටිනා මිනිස් ජීවිත ලක්ෂ ගනණක් වාර්ෂිකව දැයට අහිමි වන බවත් එම වටිනා මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට තමන් නොපැකිළිව කටයුතු කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ අද (10) රැස්වූ බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලයේදී අදහස් දක්වමින්.

බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්ව‌යෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී රැස්වුණු අතර වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පවත්වනු ලැබූ පළමු කවුන්සිලය මෙය වන අතර සෑම වසරකටම දෙවතාවක් (මාස 6 කට වරක්) සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වනු ලබයි.

බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය 2017 වසරේ පිහිටුවනු ලැබු අතර එහි සභාපතිධුරය සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් දරන අතර එහි උපදේශකත්වය බෝ නොවන රෝග පිළිබඳ ජාතික කවුන්සිලය විසින් හොබවනු ලබයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැලැක්වීම සහ පාලනය කිරීම සඳහා වන සංශෝධිත ජාතික ප්‍රතිපත්තිය සහ උපාය මාර්ගික රාමුව (2023 – 2033), නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය සඳහා වන ජාතික බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම (2023 – 2027) සහ බෝ නොවන රෝග අවදානම් සාධක සමීක්ෂණය (STEPS) 2021 වාර්තාව එළිදැක්විම ද සිදුවුණා.

බෝ නොවන රෝග පාලනය සදහා සිදු කළ හා දැනට සිදු කරන මෙන්ම ඉදිරි ක්‍රියාකාරකම්,යෝජනා, අදහස් සාකච්ජාවට හා සමාලෝචනයට ලක් කිරීම මෙහිදී සිදුවුණා.

මෙරට ජනතාව තුළ සීනි, ලුණු, තෙල් සහිත ආහාර අනුභවයේ යම් ඉහළතාවයක් පෙන්නුම් කෙරෙන බවත් එවැනි සෞඛ්‍යට අහිතකර ආහාර අනුභව කිරීමෙන් බෝ නොවන රෝගවල යම් වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය විද්වත්තු මෙහිදී මෙහිදී පෙන්වා දුන්නා.

ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අමාත්‍යවරයා එහි අහිතකර ප්‍රතිඵල පිළිබදව ජනතාව දැනුවත් කිරීමට මෙන්ම එයින් ජනතාව මුදවා ගැනීම සදහා යම් ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නා.

බත් පිසින විට ලුණු එකතු කිරීම වැනි සෞඛ්‍යයට අහිතකර ක්‍රියා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, දුම්කොළ හා මධ්‍යසාර භාවිතය, ශාරිරික ක්‍රියාශීලිභාවය මද බව, අහිතකර ආහාර රටාව, පිළිකා සඳහා පුර්ව පරීක්ෂණ සිදු කිරීම, රුධිර ගත කොලොස්ටරෝල් ප්‍රමාණය, රුධිරගත සීනි මට්ටම වැනි බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය ඇතුළුව අනෙකුත් සියලුම මාධ්‍යයන් එක්ව මනා සම්බන්ධීකරණයෙන් විශේෂ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සකස් කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක වන සුව දිවි මධ්‍යස්ථාන (Healthily lifestyle centre) සංකල්පය තවත් විධිමත් පරිදි ක්‍රියාත්මක කර මෙරට සමස්ත ජනතාව බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තවත් විධිමත් පරිදි ක්‍රියාත්මක කර මෙරට ජනතාව බෝ නොවන රෝගවලින් ආරක්ෂා කර ගැනීම කාලෝචිත ක්‍රියාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම වැඩසටහන් කඩිනමින් යාවත්කාලීන කිරීමට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දුන්නා.

බෝ නොවන රෝග පාලනය සදහා අවධානම් තත්ත්ව හඳුනා ගෙන ඒවා වැළැක්වීම සඳහා සෞඛ්‍ය මෙන්ම සෞඛ්‍ය නොවන අංශයන්හි සාමුහික ප්‍රයත්නයක අවශ්‍යතාවය ද මෙහිදී මතු වු අතර හෘද රෝග, ආඝාතය, පිළිකා, මානසික රෝග වැනි බෝ නොවන රෝග පාලනයට හා වළක්වා ගැනීමට ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සකස් කිරීමත් ඊට අදාළ සමාලෝචන සිදු කර ඒ පිළිබඳව හැකි සෑමවිටම තමන් දැනුවත් කරන ලෙසට ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට අවධාරණය කළා.

පාසල් ආපනශාලා තුළ මෙන්ම අනෙකුත් ආපන ශාලා තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර අලෙවි කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ගැනුණු අතර පාසල් දරුවන් ශාරීරික ක්‍රියාකාරකම්වලට යොමු කිරීම පිළිබඳවත්, මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය මෙන්ම දායකත්වය දක්වන අනෙකුත් අමාත්‍යාංශ, ආයතන එක්ව කටයුතු කර ඊට අදාළ ක්‍රමවේද සකස් කිරීමටත් මෙහිදී යෝජනා වුණා.

මෙරට සිදු වන මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙස බෝ නොවන රෝග හඳුනා ගෙන ඇති අතර බෝ නොවන රෝගවලින් වාර්ෂිකව 120,000 ක් පමණ මරණයට පත්වන බවත් දුම්කොළ භාවිතය, සෞඛ්‍ය සම්පන්න නොවන මත්පැන් භාවිතය, තරබාරුකම, අධි රුධිර පීඩනය, අධික රුධිර සීනි මට්ටම සහ අධික කොලොස්ටරෝල් මට්ටම මෙම රෝග සඳහා බලපාන ප්‍රධාන සාධකයක බවට මෙහිදී හෙළිවුණා.

වැඩිහිටි ජනගහනය වැඩි වීමත් සමඟ බෝ නොවන රෝග වැළදීමේ අවධානම ඉහළ යන බව ද, ගෝලීයකරණය, නිදහස් වෙළදපොළ ආර්ථිකය, සීග්‍ර නාගරීකරණය, දියුණු ප්‍රවාහන පහසුකම්, සංක්‍රමණික ජනගහනය වැනි පුළුල් පරාසයක දිවෙන නිර්ණායක හේතුවෙන් සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවන්ට අනුගතවීම ද බෝ නොවන රෝග තත්ත්වය කෙරෙහි දැඩි ලෙස බලපා තිබෙන බව මෙහිදී අනාවරණය වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 12:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්