සීමාවාසික ඖෂධවේදීන් 77 කට පුහුණු පත්වීම් ප්රදානය කිරිම ඊයේ (08) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් දිවයින පුරා මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් 18 කට සීමාවාසික ඖෂධවේදී පුහුණුව සඳහා සීමාවාසික ඖෂධවේදීන් 77 කට පුහුණු පත්වීම් ප්රදානය කිරිම ඊයේ (08) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.
මෙම 2021/2023 කණ්ඩායම ඖෂධවේදීන් ලෙස 2016 හා 2017 යන වර්ෂයන් වලදී අ.පො.ස (උසස් පෙළ) විභාගයේ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් ලෙස ඖෂධවේදී පුහුණූ පාසල් වලට බඳවා ගෙන වසර 2 ක ඩිප්ලෝමා පාඨමාලාවේ වසර එකහමාරක න්‍යායාත්මක පුහුණුව අවසන් කිරීමෙන් පසු ඉදිරි මාස 06 ක ප්‍රායෝගික පුහුණුව සදහා මෙලෙස බඳවා ගනු ලැබිණි.
මෙම අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පසුගිය කාලයේ නතර වී තිබූ බදවා ගැනීම් යම් ප්‍රමාණයකට සක්‍රීය කර තිබෙන බවත්, අනාගතවාදීව වඩාත් ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරිම අවශ්‍ය වන බවයි.
මෙම පත්වීම්ලාභීන් එහි ප්‍රධාන කොටස්කරුවන් වන බවත්, ඖෂධ ලබාදීමෙන් පසු ලබාදුන් ඖෂධ පිළිබදවත්, ඖෂධ භාවිතය පිළිබඳවත් ජනතාවට උපදෙස් ලබාදීම සහ නැවත ඇතිවන තත්ත්වයන් පිළිබදව පසුවිපරම ශක්තිමත් කිරිමත් අත්‍යාවශ්‍ය වන බව අමාත්‍යවරයා සඳහන් කළා.
වෛද්‍ය, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි ක්ෂේත්‍ර ගණනාවකට අදාලව පසුගිය කාලයේ පත්වීම් ලබාදුන් බවත්, පවතින මුල්‍ය තත්ත්වයන් සමග ඉදිරියේ දීත් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරිම සදහා කටයුතු කරන බව ද පැවැසීය.
තිබුණු ඖෂධ හිඟතාවය මඟහරවාගෙන තිබෙන බවත්, ඖෂධ හිඟතාවයන්ට මූල්‍යම ගැටළු ද බැදී තිබුන බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝකයේ දියුණූ රටවලට සාපේක්ෂව අඩු පහසුකම් මධ්‍යයේ වුවත්, මෙරට සෞඛ්‍ය වෘත්තිකයින් තිබෙන ප්‍රමාණාත්මක යටිතල පහසුකම් සමග ගුණාමකභාවයෙන් ඉහළ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවැසීය.
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස ද ඖෂධවේදීන් ලෙස අභ්‍යාසලාභීන් 163 දෙනෙකු සදහා පත්වීම් ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන ලදී.