ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින තුනක විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත්තේ.
මේ අතර විදුලිබල මණ්ඩල සේවකයින්ගේ හැසිරීම් හා විනය පටිපාටිය හා විනය නීති පටිපාටිය සංශෝධනය කරමින් නව චක්රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය හැසිරීම හා විනය පටිපාටිය හයවෙනි පරිච්ඡේදයට ආ පරිච්ඡේදයක් ලෙස කරුණු කිහිපයක් ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
විදුලිබල මණ්ඩල සේවකයින් හා නිලධාරීන් සමාජ ජාලා වෙබ් අඩවි, මෘදුකාංග පරිශීලනයේ දී මණ්ඩලයේ විනය නීති පටිපාටි උල්ලංඝනය නොකිරීමටත් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිරූපය ආරක්ෂා වන පරිදි ඒවා පරිශීලනය කිරීමට තරයේ වගබලා ගත යුතු බවත් අවධාරණය කර තිබෙනවා.
සමාජජාලා වෙබ් අඩවි වෙත නිල නිවේදන නිකුත් කිරීමේ අයිතිය පවතින්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති හෝ සාමාන්‍යාධිකාරී මගින් බලය පවරන ලද නිලධාරීන්ට පමණයි.
කළමනාකරණ තීරණ ගැනීම සදහා යොමු කෙරෙන ආයතනික අභ්‍යන්තර රාජකාරි ලිපි ලේඛන හා තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත පත් කිරීම, සාවද්‍ය පරිහරණය, වැරදි අයුරින් අර්ථ නිරූපනය කිරීම යනාදියෙන් මණ්ඩලයට සිදුවන අගතිය පිළිබද දැඩි අවධානය යොමු කළ යුතු අතර එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වන බව ද ඉන් පෙන්වා දී තිබෙනවා.
මණ්ඩලය සතු රහස්‍ය තොරතුරු හෙළි කිරීම, අපහාසාත්මක අසත්‍ය කාමුක දේශපාලනික හෝ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු මහජනතාව නොසන්සුන් කළ හැකි සාවද්‍ය පුවත් ආයතනය අපකීර්තියට පත් කරවන ප්‍රකාශ ආදිය සිදු කිරීමෙන් වැළකී සිටීමද අත්‍යවශ්‍ය බවයි ඉන් අවධාරණය කර ඇත්තේ.