ශක්තිමත් රටක් ගොඩ නැගීමට නම් සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව ඉදිරියට යා යුතුයි
මුස්ලිම් ආගමික අධ්‍යාපන ගැටළුවට කඩිනම් විසඳුම්
කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානයක්
ත්රස්තවාදයට සම්බන්ධයක් නැති, රටේ විප්ලවයක් ඇති කිරීමට හේතු නොවන අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි
සමෘද්ධිමත්, එක්සත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැපවෙමු.
– ජනපති සියලු දේශපාලන පක්ෂ වෙත යළි ඇරයුම් කරයි
රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම අද රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බවත්, කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමන් සමඟ එක්වන ලෙස තමා සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, සංහිඳියාවට අදාළව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට අද (27) පෙරවරුවේ එක් වෙමින්
ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන ගුරුතලාව මුස්ලිම් ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිවරයා එහි සිසු දරුවන් විසින් මහත් හරසරන් පිළිගනු ලැබුවා.
සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු විද්‍යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේද ජනාධිපතිවරයා අතින්.
විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව එළිදැක්වුණු සමරු කලාපය විදුහල්පති ඒ. ඒ. සම්මුන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පොස උසස් පෙළ විභාගයන්හිදී විශිෂ්ඨතා දැක්වූ විද්‍යාලයීය සිසු දරුවන් වෙත පදක්කම් පැළඳවීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.
විද්‍යාලයේ සියවස් සැමරුමට සුභාශීංසන එක් කරමින් සමරු ග්රන්ථයෙහි සටහනක් ද තැබූ ජනාධිපතිවරයා විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකටද එක් විය.