fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 19කට පෙර අදවන් දිනක් කෙසේ නම් අමතක කරන්නද?VIDEO

hasiniek
By hasiniek දෙසැම්බර් 26, 2023 11:56

වසර 19කට පෙර අදවන් දිනක් කෙසේ නම් අමතක කරන්නද?VIDEO

අපි ජීවිතයට අහල තිබුණෙ නැති වචනයක් මීට අවුරුදු 19කට කලින් අහන්න ලැබුණා.

ඒ සුනාමිය.

මුහුද ගොඩගලනවා කියලා අහල විතරක් තිබ්බ අපිට මුහුද ගොඩගලන හැටි ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් වුණා.

අපේ සහෝදර මිනිසුන් මුහුදු රකුසාට බිලිවෙන හැටි ඇස් වලින් දකින්න / ඒවා ගැන කන්වලින් අහන්න අපි මහ පවුකාරයින් වුණා.

සුනාමිය ජාතිආගම් භේද / කුලමල භේද / ඇති නැති පරතරය නැති කල ඛේදවාචකයකින් උපන් අමුතුම දළ රළ පෙළක් වුණා.

ස්වභාවධර්මයා මිනිස්සුන්ට දෙන්න පුළුවන් දරුණුම දඩුවම සුනාමිය කළා. සුමාත්‍රාවේ මුහුදු පත්ලේ ගැස්ම දහස් ගණනකගේ හදවත්වල ගැස්ම සදහටම නතර කරයි කියලා එදා කවුරුවත් නිකමටවත් හිතුවේ නැහැ.

අපි කාටත් දැනුනෙත් නැහැ.

හැබැයි මිහිපිට වෙන්න පුළුවන් දරුණුම ඛේදවාචකය 2004 දෙසැම්බර් 26 වනදා අද වගේම දවසක උදේ 9.25 ට සිද්ධ වුණා.

සාමයේ කුමරා ඉපදිලා ඒකෙ ආශ්වාදයෙන් කිතුනු බැතිමතුන් විනෝද වෙලා ගෙවුනේ පැය 24 යි.

සුදුවතින් සැරසිලා පන්සල් යන්න හිතුනු හදවත් පිබිදුනේ එදා පෝය දවසක් වෙච්ච නිසාමයි.

හැබැයි ස්වභාවධර්මයාට මේ කිසිම දෙයක් අදාල වුණේම නැහැ. මුහුදු පත්ලේ ගැස්ම හදවත් නතර කරවන ගැස්මක් කළේ හිත්පිත් නැති අකාරුණික විදිහටමයි.

නත්තලේ සතුට විදිමින් හිටිය කතෝලික බැතිමතුනුත් / පොහොයේ භක්තියෙන් පන්සලට ගිය බෞද්ධ බැතිමතුනුත් / නිවාඩුවේ සතුට විදින්න දුවා දරුවා එක්ක ඥාතියා මිතුරා අසල්වාසියා එක්ක සවාරියේ යෙදුනු විනෝදකාමී මේ හැම දෙනෙක්ම වර්ගීකරණයක් නැතුවම මුහුදු පතුලටම ඇදගෙන යන්න තරම් ස්වභාවධර්මයා අකාරුණික වුණේ ඇයි කියලා අවුරුදු 19 ක් සුනාමි ඛේදවාචකයට පිරෙන මේ වෙලාවෙදිවත් හිතාගන්න බැහැ.

දරුවන්ට අම්ම තාත්තා / අම්ම තාත්තට දරුවන් / පෙම්වතාට පෙම්වතිය / පෙම්වතියට පෙම්වතා / අසල්වැසියන් / මිතුරන් ඥාතීන් හදුනන නොහදුනන මිනිසුන් දහස් ගණනක් සදහටම අහිමි කළ සුනාමිය අදටත් ප්‍රශ්නයක්. මෙම සියවසේ දරුණුතම ඛේදවාචකය ලෙස අපි අත්විදි සුනාමිය යළි අපි අතරට කිසිදා නොඑනු ඇතැයි අපි හැමගේම ඒකායන පැතුමයි.

සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19ක් ගත වන අද (26), මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් දක්වන ලෙසයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

 

ලක්ෂ පහකට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි කරමින් කෝටි ගණනක් වටිනා දේපල විනාශයට පත්වූ එම ව්‍යසනයෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම වෙනුවෙන් ජාතික සුරක්ෂිතතා දිනය රජය මගින් ප්‍රකාශයට පත්කළේ 2006 වසරේයි.

ඒ අනුව අදට යෙදී ඇති එම දිනය වෙනුවෙන් සුනාමියෙන් මෙන්ම ස්භාවික ව්‍යසන වලින් මියගිය පිරිස් සිහිපත් කිරීමට කටයුතු කෙරුණා.

2004 වසරේ දෙසැම්බර් 26 වනදා කොළඹින් පිටත් වූ අංක 501 දරණ දුම්රිය පැරෑලියේ දී සුනාමි රළ පහරට හසුවුණේ මගීන් 1,270 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින්.

තවත් 242 නෙකු එහිදී අතුරුදන් වුණා. එය සිහිපත් කරමින් කොළඹ සිට එම දුම්රිය අද උදෑසන ගමන් ආරම්භ කළේ එදා රළ පහරට හසුවී මියගිය අයගේ සමීපතමයින් පිරිසක් ද සමගයි.

සුනාමි ඛේදවාචකයට මුහුණ දුන් දුම්රියේ එන්ජිම සහිතව දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට ගමන් ආරම්භ කළා.

එහිදී කොටුව දුම්රියපොල නිලධාරීන් එම දුම්රිය තුළදී සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීම ද සිදුකළා.

එම දුම්රිය පැරෑලියට ළගාවීමෙන් අනතුරුව එහි පැමිණි පිරිස සුනාමි ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීම සිදුකළා.

පැරෑලිය සුනාමි ස්මාරකය අභියස පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මියගිය පිරිසට පිං පැමිණවීම සිදුවුණා.

රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා / දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර දිවයිනේ ස්ථාන රැසකදීම සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කරමින් විවිධ සැමරුම් උත්සව සංවිධාන කර තිබුණා.

ගාල්ල නගරයේ දී සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමේ විශේෂ සැමරුම් සංවිධාන කර තිබුණා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ සුනාමියෙන් මියගිය හා අතුරුදන් වූ පිරිස් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

 

hasiniek
By hasiniek දෙසැම්බර් 26, 2023 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්