ගිණිඅවියක් සහ රුපියල් කෝටි අටකට අධික මුදල් සමඟ කොළඹ සුඛෝපභෝගී හෝටලයක දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනා ඇපමත මුදා හැරුණා.
රුපියල් මිලියනයක ශරීර ඇප මත මොවුන් මුදා හැරීමට නියෝග කළේ කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතායි.
මෙම ගිණිඅවිය සහ ඉපැයු ක්රමයක් සදහන් කළ නොහැකි රුපියල් කෝටි අටකට අධික මුදලක් සමග මොවුන් අත්අඩංගුවට ගැනුනේ පොලිසියට ලැබුණ තොරතුරකට අනුවයි. අදාළ මුදල් සහ ඔවුන් පැමිණි මෝටර් රථ දෙක මුදා හරින ලෙස ඔවුන්ගේ නීතිඥවරයා ඉල්ලා සිටියා.
අදාළ ගිණිඅවිය බලපත්ර සහිත අවියක් බව හෙළිව ඇති අතර එය අන්සතු කිරිමේ චෝදනාවට එහි හිමිකරු අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුටද ඇප නියම කෙරුණා.
මෙම සැකකරුවන් වැනිලා අපනයනය කරන සමාගමක පිරිසක් බවත් ආයතනය සදහා ඉඩමක් මිලදී ගැනීමට අදාළ මුදල් ළග තබාගෙන සිටි බවත් හෙළිව තිබෙනවා.
පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් කර්න්ටේනර් පහක් මුදා හැරීමේ සිද්ධියේ සැකකාර රේගු අධිකාරී කපිල විජයවීර යන අය ඇප මත මුදා හැරුණා.
දැඩි ඇප කොන්දේසි මත ඔහු මුදා හැරුණේ ඔහුගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීමකට අනුවයි.
ඒ අනුව රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනයක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැරුණා. කෙසේ වෙතත් ඔහුගේ විදෙස් ගමන් තහනම් කෙරුණා.