fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි පැය 24දී මහඔයෙන් මහා ගංවතුරක් එයිද?

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 19:27

ඉදිරි පැය 24දී මහඔයෙන් මහා ගංවතුරක් එයිද?

ඉදිරි පැය 24 තුළ මහ ඔය ද්‍රෝණියේ මහ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ගංගා රැසක ජල මට්ටම් ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර දැදුරු ඔයේ වාන් දොරටු 8ම විවෘත කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 08කට නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක /ගලිගමුව හා කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත්වීමේ රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.

මහ ඔය ද්‍රෝනියේ ගංගා ඇතුලු ජලාශවල ජල මට්ටම් සිඝ්‍රයෙන් ඉහළ යාමත් සමග අලව්ව / දිවුලපිටිය / මීරිගම / පන්නල / වෙන්නප්පුව / මීගමුව / කටාන / නාරම්මල සහ දංකොටුව යන ප්‍රදේශවලට මහ ගංවතුර අවදානමක් මතුව තිබෙනවා.

මේ වනවිටත් මහ ඔය ද්‍රෝණියේ පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. මහ ඔය ගිරිඋල්ල ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් කුරුණෑගල මීගමුව සහ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගවල ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා. ගිරිඋල්ල මරදගොල්ල ප්‍රදේශයේ නිවාස 80ක් පමණ ජලයෙන් යටව පවතිනවා.

වැලිමඩ වීදුරුපොල විහාරස්ථානයේ දෙමහල් ධර්මශාලාවට විශාල පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හානි සිදුවුණා. එම ප්‍රදේශයේ නිවසකට ද විශාල ගසක් කඩාවැටීම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ අතර අධික වර්ෂාවත් සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. අද උදෑසන වනවිට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ම අඩි 4 බැගින් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයකට ඝන අඩි 23,000ක ජල ධාරිතාවක් නිකුත් කෙරෙනවා.

ඒ හේතුවෙන් කුරුණෑගල අනුරාධපුර මාර්ගය ඇල්ල ප්‍රදේශයෙන් අවහිර වීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

පොළොන්නරුව දිවුලානවිල පිටාර ගැලීම හේතුවෙන් දිවුලාන මාර්ගය ජලයෙන් යටව පවතිනවා. ප්‍රදේශයේ කුඹුරු අක්කර 75ක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් ගොවි ජනතාව පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකයි.

පොල් ජලාශයේ ද වාන් දොරටු 6ක් විවෘත කර ඇති බව මහවැලි අධිකාරිය සදහන් කළා. එම ජලය වික්ටෝරියා සහ බෝවතැන්න ජලාශවලට මුදාහැරෙනවා.

මේ අතර අද පස්වරුවේත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ලුණුගම්වෙහෙර ජලාශයේ පහළ ප්‍රදේශයට ගංවතුර අවදානමක් ඇති විය හැකි බව එම ප්‍රදේශයේ වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසනවා.

වසර 4කට පසුව ලුණුගම්වෙහෙර ජලාශය ඊයේ රාත්‍රීයේ සිට වාන්දැමීම ආරම්භ වු අතර මේ හේතුවෙන් ඇල්ලගල සහ මාගම පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

නායයාමෙන් අවහිර වු පේරාදේණිය චෙන්කලඩි මාර්ගයේ ලුණුගල හා බිබිල අතර කොටස තවදුරටත් අවහිර වී තිබෙනවා. අරවාකුඹුර 31 ප්‍රදේශයෙන් මාර්ගයට වැටී ඇති ගල් සහ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවනවා.

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු නිවාස කිහිපයක් නායයාමට ලක්ව තිබෙනවා. එම නිවාස වල සිටි පුද්ගලයෙකු නායයාම සිදුවනු දැක වතු අධිකාරිය දැනුවත් කළා.

ඉන් අනතුරුව ආපදා කළමනාකරණ නිලධාරීන් පැමිණ ප්‍රදේශයේ පවුල් 31ක් ඉවත්කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට කටයුතු කළ අතර එම පිරිස මේ වන විට තංගමලේ වත්ත වතු පාසලේ රැදි සිටිනවා.

එම ස්ථානය මේ වන විටත් නායයමින් පවතින බවයි වාර්තාකරුවන් සදහන් කරන්නේ.

hasiniek
By hasiniek නොවැම්බර් 20, 2023 19:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්