අහමදාබාද් ක්‍රීඩාංගනයේ නිල් පැහැති ඇඳුමෙන් සැරසී සිටි දහස් සංඛ්‍යාත ඉන්දියානුවන් නිහඩ කරවන්නට කැන්ගරුවන් සමත්වුණා.
ඒ ඊයේ පැවති එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දියාවට කඩුලු 6ක පරාජයක් උරුම කරදීමත් සමඟින්.
කෙසේ වෙතත් විරාට් කෝලී, රොහිත් ෂර්මා, රවින්ද්‍ර ජඩේයිජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින්ගේ දෑස් කඳුළින් තෙත් කරවන්නට ඕස්ට්‍රේලියාව සමත්වුණේ සමස්ත ඉන්දියාවටම එරට ක්‍රිකට් ඉතිහාසයේ අමිහිරිතම දිනයක් සනිටුහන් කරමින්.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණේ ඉන්දියාවේ අහමදාබාද් හිදීයි. අවසන් තරගය සදහා ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සුදුසුකම් ලබාගත් අතර ඒ වන විට ඉන්දියාව සහභාගී වු සියලු තරග ජයග්‍රාහණය කරමින් තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි තරගාවලියේ රැදි සිටියේ.
ලොවපුරා ක්‍රීඩා විචාරකයින් මෙම අවසන් මහ තරගය ඉන්දියාව ජයගනු ඇති බවට මත පළ කර තිබුණත් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ඒ සියල්ලටම අභියෝග කරමින් සදහන් කළේ අවසන් මහ තරගයේ දී සමස්ත ඉන්දියාවට නිහඩ කරන බවයි.
එවැනි අභියෝගයන් යටතේ තරගය ආරම්භ කෙරුණු අතර තරගයේ කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සදහා ඉන්දියා කණ්ඩායමට අවස්ථාව ලබාදුන්නා.
ඒ අනුව ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි නායක රොහිත් ෂර්මා සහ ශුබ්මාන් ගිල් වේගයෙන් ලකුණු රැස්කීරිම ආරම්භ කළා.
නමුත් ඇඩම් සම්පාගේ පන්දුවක් හමුවේ ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ශුබ්මාන් ගිල් දැවී ගියේ ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 30 රැදි තිබියදි.
ප්‍රහාරාත්මක ඉණිමක් දියත් කළ රොහිත් ෂර්මා ලකුණු 47කට දැවී ගියා.
තරගාවලියේ පුරාවටම ඉන්දියාවේ බලාපොරොත්තුව වු විරාට් කෝලී සහ ෂෙයර්ස් අයියර් ඉන්දීය ලකුණු තත්ත්වය ඉහළ නැංවීමට උත්සහ කළ ද අයියර් ලකුණු 4ක් ලබා සිටිය දී ක්‍රිඩා පිටියෙන් ඉවත් කිරීමට ඕස්ට්‍රේලියා නායත පැට් කමින්ස් සමත්වුණේ ඉන්දීය බලාපොරොත්තු තවත් බිද දමමින්.
අනතුරුව පිටියේ එක්වු විරාට් කෝලී සහ ලෝකේෂ් රාහුල් ඉන්දීය ලකුණු සටහන ලකුණු 148 දක්වා ඉහළ නැංවුවා. නමුත් ලකුණු 54ක් ලබාසිටි විරාට් කෝලී කෙළින්ම පන්දුව කඩුල්ලට වැදීම හේතුවෙන් දැවී ගියේ සුවහසක් ඉන්දියානුවන්ගේ බලාපොරොත්තු සුණුවිසුනු කරමින්.
කෙසේ වෙතත් සිය පන්දුවාර 50 අවසානයේ දී ඉන්දීය කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 240ක් පමණයි.
ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වු ලෝකේෂ් රාහුල් ලකුණු 66යි. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටාක් කඩුලු 3ක් බිද හෙලුවා.
ලකුණු 240ක පහසු ඉලක්කයක් හඹායාම සදහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පළමු කඩුල්ල ලෙස ප්‍රබල ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 7කට දැවී ගියේ ඉන්දියානු ප්‍රේක්ෂකයන්ට නැවුම් බලාපොරොත්තුවක් එක්කරමින්. මිචෙල් මාෂ් ලකුණු 15කට දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම හේතුවෙන් ලකුණු 4කට දැවී ගිය අතර එම දැවී යාම සම්බන්ධයෙන් ද විනිසුරුවරුන්ට ක්‍රීඩා විචාරකයින්ගේ විරෝධය එල්ල වුණා.
අනතුරුව පිටියේ එක්වු ට්‍රාවිස් හෙඩ් සහ මානස් ලබුෂේන් ඕස්ට්‍රේලියාව ජයග්‍රාහණය කර රැගෙන ගියේ ඉන්දියානු පන්දු යවන්නන්ට තම පිත්තෙන් දැඩිව තරවටු කරමින්.
විශිෂ්ට ඉණිමක් ක්‍රීඩා කළ ට්‍රාවිස් හෙඩ් ලකුණු 137කට දැවී ගියා. ඒ සදහා ඔහු හයේ පහර 4ක් සහ හතරේ පහර 15ක් එල්ල කර තිබෙනවා.
ඉන්දියානු පන්දුයවන්නන්ගේ පීඩනය බිද දමමින් නොදැවී ලකුණු 58ක් රැස්කිරීමට ලබුෂේන් සමත්වුණේ ඕස්ට්‍රේලියාවේ ජයග්‍රාහණය සහතික කරමින්.
ඒ අනුව පනිදුවාර 43 කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 241ක් ලබා ගනිමින් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටය.
මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඕස්ට්‍රේලියා ලෝක කුසලාන හිමිකරගෙන ඇත.