fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක් පිටාර ගැලීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 13:57

අධික වර්ෂාවත් සමඟ ගංගා කිහිපයක් පිටාර ගැලීමේ අවදානමක්

ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ගංගා කීපයක් පිටාර ගැලීමේ අවදානමක් මතුව තිබෙනවා.

මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඊයේ දිනයේ මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇදහැලුණා.

උතුර , බස්නාහිර සහ සබරගමුව පළාත්වලට ද තද වැසි ඇතිවූ අතර ගංගා කීපයක සුලු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වර්ෂාවත් සමඟ කලු ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කය ආශ්‍රිතව පහත් බිම් රැසක් යටව තිබෙනවා.

රත්නපුර අලුපොත ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

දැදුරු ඔය ජලාශයේ ජල මට්ටම ශී ඝ්‍ර යෙන් ඉහළ යාමත් සමඟ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඉන් තත්ත්පරයකට ඝන අඩි 22,400ක ජල ධාරිතාවක් නිකුත් කරන බැවින් වාරියපොල , නිකවැරටිය ,මහව,කොබෙයිගනේ ,බිංගිරිය , පල්ලම ,හලාවත ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වැලිමඩ නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග බදුල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ලවුණා.

වැලිමඩ ඔරලෝසු කණුව ආසන්න ප්‍රදේශය අඩි දෙකක් පමණ ජලයෙන් යටව තිබූ අතර ජනතාව දැඩි පීඩාවට පත්ව සිටියා.

වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයට පුහුල්පොල ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගය තාවකාලිකව වසා දැමුණා.

අධික වර්ෂාව හේතුවෙන් මෙම නායයාම සිදුව ඇති අතර බදුල්ල දෙසට යාම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීය රියදුරන්ට දැනුම් දෙනවා.

මෙම නායයාම සිදුවූ ස්ථානය පටු ප්‍ර දේශයක් බැවින් එම ස්ථානයේ ගැවසීම දැඩි අවදානම් බව පොලීසිය ප්‍රකාශ කලද බොහෝ පිරිස් එම ස්ථානයට නැරඹීමට පැමිණෙන ආකාරය ද දැකගත හැකියි.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං මෙන්ම අකුණු අනතුරු ද සිදුවිය හැකි බැවින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවට දැනුම් දෙනවා.

මේ අතර වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීමෙන් හාලිඇල කන්දෙගෙදර මාර්ගයේ නාය යෑමක් සිදුවුණා.

ඒ හේතුවෙන් රථවාහන ධාවන කටයුතු පැයක පමණ කාලයක් මුළුමනින්ම ඇණහිටියා.

පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය ගම්වාසීන්ගේ සහාය ඇතිව බාධක ඉවත් කිරීමෙන් අනතුරුව යළි මාර්ගයේ එක් මංතීරුවක් රථවාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමටයි කටයුතු කෙරුණේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2023 13:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්