fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති රටවල් 10 ක තානාපතිවරු හමුවෙයි

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 15:13

අගමැති රටවල් 10 ක තානාපතිවරු හමුවෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අලුතින් පත් වූ රටවල් 10ක ශ්‍රී ලංකා තානාපතිවරුන් අතර හමුවක් ඊයේ (13) අරලියගහ මන්දිරයේ දී සිදුවී තිබෙනවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු ලෝකය සමඟ අන්තර් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ප්‍රදර්ශනය කරන ලෙසත්, ආයෝජන සහ හවුල් ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමට නව මුලපිරීම් ගන්නා ලෙසත් ය.

අපගේ අවධානය යොමු වන්නේ වෙළඳාම සහ ආයෝජන වැඩි කිරීමයි. ඔබ නිරන්තරයෙන් සත්කාරක රජයන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන, ප්‍රමුඛ ආයෝජකයින් සහ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සමඟ සම්බන්ධ විය යුතුයි.

ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතු අතර එය හුදෙක් සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව ප්‍රධාන වශයෙන් ආයෝජන සහ වෙළඳාමට සුදුසු ස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුව තිබේ. අනෙකුත් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමෙන් ශ්‍රී ලංකාවට තමන්ගේම ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකියි.

ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමට නව ජාලයක් ගොඩනැගීම සඳහා සත්කාරක රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම්ලත් සංවිධාන සහ එම රටවල සිටින ශ්‍රී ලංකාවට හිතවත් වැදගත් මිතුරන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නව තානාපතිවරුන්ට උපදෙස් දෙනු ලැබුවා

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (පාකිස්ථානය), එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ (නේපාලය), ක්ෂෙනුකා සෙනෙවිරත්න (ඉන්දියාව), අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න (කියුබාව), සත්‍යජිත් රුද්‍රිගෝ (ඉතාලිය), මධුරිකා වෙනින්ගර් (ඊජිප්තුව), ධර්මපාල වීරක්කොඩි (බංග්ලාදේශය), සෙනරත් දිසානායක (සිංගප්පූරුව) සහ චන්දන වීරසේන (බෙල්ජියම සහ යුරෝපා සංගමය) අලුතින් පත් වූ දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස අග්‍රාමාත්‍යවරයා හමුවුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජනාධිපති ලේකම් අනුර දිසානායක, උපදේශක සුගීස්වර සේනාධිර, විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මොහොමඩ් ජවුහාර් සහ අධ්‍යක්ෂ ජනරාල් විජයන්ති එදිරිසිංහ යන අය මෙම අවස්ථාවට එක්ව සිටියා

hasiniek
By hasiniek නොවැම්බර් 14, 2023 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්