fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2023 05:25

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ඉදිරි දින කිහිපයටත් මේ ආකාරයෙන්ම පවතින බව සහ ඉදිරි දින කිහිපයේ පළාත් කිහිපයකට මිලි මීටර් 100ට අධික වර්ෂාපතනයක් ලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.

ඒ අනුව දැනට ඇති වී තිබෙන තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 158ක පවුල් 9280ක පුද්ගලයන් 34,348ක් ආපදාවට ලක් වී තිබේ.

පසු ගිය මාසය තුල මරණ 8 ක් සහ තුවාල ලැබීම 9 ක් වාර්තා වී ඇත. දැනට දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරක්‍ෂිත මධ්‍යස්ථාන 29 ක් තුල පවුල් 550ක පුද්ගලයින් 1951ක් රඳවා තිබේ.

පසුගිය (12) දිනයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නාය යාමක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 4 දෙනෙක් අතුරුදහන් වී ඇති බවත් එම අතුරුදහන් වූ පුද්ගලයන් අතර වයස අවුරුදු 8ක සහ 10ක ළමුන් දෙදෙනෙක්ද සිටින බව වාර්තා වී ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අවදානම් නියෝග නිකුත් කර ඇති ප්‍රදේශයක මෙම තත්වය උද්ගත වී ඇති අතර එම අවදානම් නියෝග වලට අනුගත වෙමින් අවට නිවෙස් වල කිහිප දෙනෙකු සුරක්‍ෂිත මධ්‍යස්ථාන වල ආරක්‍ෂාව පතා තිබීම හේතුවෙන් දිවි බේරා ගැනීමට හැකි වී ඇත.

ත්‍රිවිධ හමුදාවේ සහය ඇතුව අතුරුදහන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.

එමෙන්ම 2023.09.28 සිට 2023.11.12 දින දක්වා නාය යාම් හේතුවෙන් පුද්ගල මරණ 3ක් වාර්තා වී ඇත. එම කාල සිමාව තුල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ස්ථාන 725ක පරික්‍ෂාවට ලක් කර අවදානම් ස්ථාන වලින් ජනතාවට ඉවත් වන්නට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

පසු ගිය කාලයේ අධික වර්ෂාපතනය සහ දැඩි සුළං තත්වය හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල මෙන්ම කොළඹින් බැහැර ප්‍රදේශ වල ද විශාල ගස් කඩා වැටීම නිසා අනතුරුදායක තත්වයන් නිරීක්‍ෂණය විය. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුල පමණක් මාර්ග දෙපස ගස් 100,000ක් තිබෙන බව හඳුනාගෙන තිබෙන අතර මේ අතරින් ගස් 300ක් පමණ අවදානම් තත්වයේ තිබෙන බව හඳුනාගෙන ඇත.

ඒ අනුව එවැනි අනතුරුදායක ගස් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා අදාළ පළාත් පාලන ආයතන වලට අවශ්‍ය දැනුම් දීම සිදු කර තිබේ.

අනතුරුදායක ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා මෙතෙක් නිශ්චිත ආයතනයක් නොමැති වීම නිරීක්‍ෂණය වූ අතරම ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමේ බලය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට ලබා දීම තුලින් ඒ හා සම්බන්ධ කටයුතු විධිමත්ව සිදු කිරීමටත් කටයුතු කරනු ලැබේ.

ඒ අනුව අදාල පළාත් පාලන ආයතනය හා එක්ව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගස් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම ඉදිරියේදී සිදු කරනු ඇත.

ඒ සම්බන්දයෙන් කටයුතු කිරිම අදාල ප්‍රාදේශීය සභාවට හෝ නගර සභාවට පැවරෙන රාජකාරියක් බවට පත් කෙරෙනු ඇත.

මේ වන විට මාර්ගය දෙපස විශේෂයෙන්ම පැළ සිටුවීමේදී කිසිම අනු දැනුමකින් හෝ අවසරයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ආකාරයේ වෘක්ෂ ලතාවක් රෝපණය කිරීමට අවසර තිබුනද මෙම තත්වය සුභවාදිව දැකිය නොහැකිය. මාර්ගය දෙපස පැළ කිරීම සඳහා යෝග්‍ය වෘක්ෂලතා හඳුනා ගැනීමටත් ඒ පිළිබඳව මහජනයා දැනුවත් කිරීමටත් බලාපොරොත්තු වේ.

තවද මාර්ගය දෙපස තිබෙන වෘක්ෂ ලතා පිලිබඳ තොරතුරු ලබා ගෙන එම සෑම ගසකටම අදාල වන පරිදි ලිපි ගොනුවක් විවෘත කිරීමටත් එම තොරතුරු දත්ත පද්ධතියට ඇතුලත් කිරීම හරහා වෘක්ෂ ලතා වල ඉදිරි ආයු කාලය හඳුනා ගැනීමටත් පළාත් පාලන ආයතන වෙත යෝජනා කර තිබේ.

පවතින ආපදා තත්වය තුල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු සාමාජිකයින් දිවා රෑ වෙහෙස මහන්සි වෙමින් මෙම තත්වයෙන් මහජනතාව සුරක්‍ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය සියලු ශ්‍රමය සහ කැපවීම් සිදු කරමින් පවතී.

ඒ වෙනුවෙන් ඔවුන්ට ගෞරවය සහ ස්තුතිය පුද කර සිටින අතරම අවශ්‍ය සහන ලබා දීම සඳහා අවශ්‍ය මුල්‍ය සම්පාදනය කඩිනම් කිරීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ටද ස්තුතිය පුද කර සිටී.”

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2023 05:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්