මෙවර මහ කන්නයේ දී වර්තමානය තුළ විශාල වශයෙන් රටේ සෑම ප්රදේශයකටම වර්ෂාව ලැබුනත් පසුගිය යල කන්නයටත් වඩා දරුණු නියඟ තත්ත්වයකට ලබන යල කන්නයේ දී මෙරට ගොවි ජනතාවට මුහුණ පෑමට සිදුවෙතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඉදිරි දරුණු නියඟය තත්ත්වය ගැන මේ වනවිට ජාත්‍යන්තර කාලගුණ අනාවැකි මගින් තහවුරු කර ඇති බවත්, එම නිසා මේ වනවිට සියලු ජලාශවලට ඒකරාශි වී ඇති ජලය මහත් අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසත් අමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියා
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළ කළ අදහස් ..
පසුගිය යල කන්නය අපේ බලාපොරොත්තුවේ කන්නය ලෙස නම් කළ හැකියි. වගා කන්න තුනකට පසු වී වගාවට අවශ්‍ය සියලුම පොහොර අපි ගොවීන්ට ලබා දුන්නා. ඒ වගේම පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් බැගින් මුදල් වවුචරයක් ලබා දුන්නා. නමුත් එල් නිනෝ නැමැති ස්වාභාවික කාලගුණික ක්‍රියාවලිය හේතුවෙන් දරුණු නියඟය තත්ත්වයකට ගොවීන්ට මුහුණ දීමට සිදු වුනා. ඒ හේතුව නිසා වගා කරන ලද කුඹුරු අක්කර 65,000ක් පමණ විනාශ වුනා.
මෙම විනාශ වූ කුඹුරු සියල්ල ඉහලම අස්වැන්නක් ලබා දෙන කුඹුරුයි. ඉන්පසු ආරම්භ වූ අධික වර්ෂාව නිසා අස්වනු නෙලන්නට ආසන්නව තිබු තවත් කුඹුරු අක්කර 11,000ක් පමණ ජලයට යටවී විනාශ වුනා.
දැන් ඉහළ වර්ෂාවක් ලැබුනත් මෙම තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. ලබන දෙසැම්බර් මස අවසානයේ ඇතිවන ලා නිනා නැමැති ස්වාභාවික කාලගුණික තත්ත්වය ගැන ජාත්‍යන්තර කාලගුණික අනාවැකි පළ කර තිබෙනවා. මේ නිසා පසුගිය යල කන්නයටත් වඩා දරුණු නියඟ තත්ත්වයක් ඉදිරි යල කන්නයේ දී ඇති වෙනවා. සමහර විට කිසිදු බෝගයක් වගා කිරීමට නොහැකි වන පරිදි අවශ්‍ය ජලය හිඟ වේවි.
ඒ නිසා දැනට තිබෙන ජලය පිරිමසා ගැනීම වැදගත්. ඒ නිසා කළට වේලාවට කුඹුරු වැඩ ආරම්භ කළ යුතු යැයි දැනුම් දුන්නත් සමහර ප්‍රදේශවල ගොවීන් තවමත් කුඹුරුවලට යොමු වි නැති බව පෙනෙනවා. මෙහි ප්‍රතිපලය වන්නේ අවසානයේ එම කුඹුරු නියඟයට හසුවීමයි. මින් ඉදිරියට වගා හානි වන්දි ලබා දීමේ දී කළට වේලාවට වගා නොකරන කුඹුරුවලට වන්දි ලබා දෙන්නේ නැහැ.
ඒ නිසා මේ සම්බන්ධව දැඩි අවධානය යොමු කළ යුතුයි. ලබන යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය තරම් ජලය නොලැබුනහොත් අතිරේක බෝගවගාවට යොමු වන්නට සිදුවේවි. ශ්‍රී ලංකා හදබිම අධිකාරිය විසින් අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැෂන් පෘට් වගාව ප්‍රචලිත කිරීම සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ කළා. ඒ සඳහා ගොවි පවුල් 70ක් තෝරාගෙන තිබෙනවා.
ඔවුන්ට වගාවට අවශ්‍ය කෘෂි උපකරණ ලබා දීම අද සිදු කෙරුණා. මෙවැනිම ව්‍යාපෘතියක් ඔවුන් විසින් දෙහිඅත්තකණ්ඩිය ප්රදේශයෙත් ක්‍රියාත්මක කරනවා. අපේ රටේ පැෂන් පෘට් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා මෙම වගාවන් සිදු කිරීමේ දී අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව වගා කිරීම සඳහා අවශ්‍ය පුහුණුව හා අධික්ෂණයත් හදබිම අධිකාරිය විසින් සිදු කරනවා. පැෂන් පෘට් වියළි කාලගුණයක් සහිත ප්‍රදේශවල හොඳින් වගා කළ හැකියි