මේ දිනවල වෙළෙඳපොලේ කීරි සම්බා සහල්වල විශාල හිඟයක් ඇතත් එම හිඟය සහල් මාෆියාව විසින් කෘත්‍රිමව ඇති කළ හිඟයකි.
අවශ්‍ය තරම් කීරි සම්බා වී තොග රට තුළ පැවැතියත් ඇතැම් සහල් මෝල් අයිතිකරුවන් එම වී තොග සඟවා ගනිමින් කීරි සම්බා සහල් වෙළෙඳපොලට සැපයීම අවම කර තිබෙනවා.
පසුගිය යල කන්නයේ කීරි සම්බා වගා කිරීම අඩු වුනත් ඉන් පෙර මහ කන්නයේ කීරි සම්බා වගා කිරීම නිසා එම වී සහ සහල් තොගවල අඩුවීමක් සිදු වී නැත.
කීරි සම්බා සහල් අලෙවි කළ යුතු පාලන මිලක් රජය විසින් නියම කර තිබුනත් මේ වනවිට කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 305-310 වශයෙන් මිලකට සහල් සඟවා තබා ගනිමින් අලෙවි කිරීමට ඇතැම් ව්‍යාපාරිකයෝ කටයුතු කරනවා.
නමුත් බහුතරයක් ජනතාව පරිභෝජනයට ගන්නා නාඩු සහල්, රතු කැකුළු වැනි සහල්වල කිසිදු හිඟයක් නොමැති අතර අවශ්‍ය තරම් සහල් තොග මෙන්ම වී තොග රට තුළ පවනවා.
දැනට පුද්ගලික සහල් මෝල් අයිතිකරුවන් හා සහල් ව්‍යාපාරිකයින් සතුව අවශ්‍ය තරම් කීරි සම්බා වී සහ සහල් තොග ඇතත් ඔවුන් සිතා මතාම සහල් මිල ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් කීරි සම්බා වෙළෙඳපොලට සැපයීම අවම කර තිබෙනවා.
මේ සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් වැටලීම් මෙහෙයවනු ලබන නමුත් බොහෝ ව්‍යාපාරිකයින් හොර රහසේ වැඩි මිලට කීරි සම්බා අලෙවි කිරීමේ ජාවාරමක නියැලෙන බවයි.
මේ නිසා මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවි ජනතාව පොළඹවන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
මේ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සහල්වල අඩංගුවල ග්ලුකෝස් ප්‍රමාණයන් පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයාට බාර දී තිබෙනවා.
එම වාර්තාව අනුව අප රටේ පාරිභෝජනය කරන සහල් අතරින් වැඩිම ග්ලුකෝස් ප්‍රමාණයක් ඇතුළත් වන සහල් විශේෂය වන්නේ කීරි සම්බාවල බව ද අනාවරණය කර තිබෙනවා.
විශේෂයෙන් කීරි සම්බා බත් වැඩිපුර ආහාරයට ගැනීම සිදුවන නිසා රුධිරයේ සීනි මට්ටම ඉහළයාමේ ප්‍රවණතාවක් ද පවතින බවත් එමනිසා දියවැඩියාව රෝගය උත්සන්න වීමට මෙම සහල් හේතුවන බවත් පෙන්වා දී තිබෙනවා.
නමුත් ග්ලුකෝස් මට්ටම අඩුම සහල් විශේෂයන් වන්නේ නිවුඩ්ඩ සහිත සහල් විශේෂ බව ද එම වාර්තාව පෙන්වා දී තිබෙනවා.