fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රිස්වානා බෙගම් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 06:08

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රිස්වානා බෙගම් අතර හමුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ ආසියානු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සින්ගප්පූරු නියෝජිත මහාචාර්ය රිස්වානා බෙගම් මහත්මිය අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

මෙම හමුවට (මහාචාර්ය) බෙගම් මහත්මිය සහ සිංගප්පූරුවේ නීතිඥවරියක වන විමලා චන්ද්‍රරාජන් මහත්මිය, ශ්‍රී ලංකාවේ කාන්තා ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ ස්වේච්ඡා තාක්ෂණික විශේෂඥ වෛද්‍ය රමණි ජයසුන්දර සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියා.

ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ අනෙකුත් රටවල මන්ත්‍රීවරියන් සමග සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති මෙම හමුවේදී සිංගප්පූරුවේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ වැළැක්වීම ඉලක්ක කරගත් මුල පිරීම්, වැඩසටහන් සහ ප්‍රතිපත්ති සාකච්ඡා කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය බෙගම් මහත්මිය පෙන්වා දුන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා දැඩි දඬුවම්, පුද්ගල ආරක්ෂණ නියෝග, කඩිනම් නියෝග, ගෘහස්ථ බැහැර කිරීම් නියෝග සහ උපදේශන නියෝග ඇතුළු නීතිවල වෙනස්කම් අවශ්‍ය බවයි.

එමෙන්ම පවුල් ප්‍රචණ්ඩත්වය වැලැක්වීම පිළිබඳව ඇය අවධාරණය කළේ රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාමාර්ග අවශ්‍ය බවයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන් සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (Gender Based V) වැළැක්වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ වැටුප් පරතරය පිටුදැකීම සහ වැටුප් නොලබන කාන්තා ශ්‍රමිකයන් සහ කාන්තාවන්ට සහාය වීම පිළිබඳව සිංගප්පූරුවේ අතිදැකීම් බෙදා ගැනීම පිළිබඳ  ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මහාචාර්ය බෙගම් මහත්මිය වෙත සිය ස්තූතිය පළ කළා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2023 06:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්