fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් අමාත්‍යාංශයට උපදෙස්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 10:00

වී අස්වැන්න දෙගුණයකින් ඉහළ නැංවීමට වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් අමාත්‍යාංශයට උපදෙස්

ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉදිරි වගා කන්න 06 තුළ මෙරට වී වගාව දෙගුණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය සියලු පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වනවිට අපේ රට සහලින් ස්වයංපෝෂිත මට්ටමකට ළඟාවී ඇතත් දිවයින පුරා පවතින සියලු කුඹුරුවලින් එකම මට්ටමේ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී නැත.

මෙරට සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 2.5 සිට 4.5 දක්වා වෙනස් වේ.

එමෙන්ම ඇතැම් දිස්ත්‍රික්කවල ගොවි ජනතාව අග්නිදිග ආසියානු කලාපයේ හෙක්ටයාර් එකකට මෙතෙක් ලද ඉහළම වී අස්වැන්න වශයෙන් මෙට්‍රික් ටොන් 11ක් දක්වාත් වාර්තා කර තිබෙනවා.

අපේ රටේ වී වගාව තුළ අස්වැන්න ඉහළ නැංවීමට මෙන්ම සහල්වල ගුණාත්මක තත්ත්වය ඉහළ නංවාගැනීම මගින් අපේ සහල් සඳහා ජාත්‍යන්තරය තුළ ඉහළ ඉල්ලුමක් ද පවත්වා ගැනීමට හැකියි.

මේ නිසා වී අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වන නව තාක්ෂණය ගොවීන්ට හඳුන්වා දීම සඳහා විශේෂ වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසත් ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබා දෙන බවත් ජනාධිපතිතුමන් උපදෙස් දී තිබෙනවා.

දැනට අප රටේ ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08කි.

වර්ෂයකට යල හා මහ කන්න දෙක තුළ වගා කෙරෙන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් මිලියන 1.3කි.

ඉන් දැනට ලද හැකි සමස්ත වී අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 5.2ක් පමණ වේ.

එමගින් නිපදවා ගත හැකි සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 3.1ක් වන අතර මෙරට පාරිභෝජනය සඳහා  වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් අවශ්‍ය වේ.

දැනට අවශ්‍ය තරම් සහල් රට තුළ පැවතියත් රජයේ ආහාර සුරක්ෂිතතා වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහාත්, මහජනතාවට අවම මිලක් යටතේ සහල් පාරිභෝජනය සඳහා ඉඩතඩ සැලසීමත් අරමුණු කර ගනිමින් මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ඉළක්කය බව ද අමාත්‍යවරයා පවසයි.

2023 වර්ෂය තුළ කෘෂිකර්මාන්තය සඳහා රුපියල් බිලියන 132ක මුදලක් ජනාධිපතිතුමන් විසින් ලබා දුන් අතර 2024 වර්ෂය තුළ ගොවි ජනතාවට වී වගාවේ නව තාක්ෂණය හඳුන්වා දීම සඳහා වැඩිපුර මුදල් රජය විසින් ලබා දෙනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගියදා පැවැති දකුණු පළාත් කෘෂිකර්ම සංවර්ධන කමිටු රැස්වීමේ දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2023 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්