නීති විරෝධී පිරමීඩ ආයෝජන ක්‍රමයක් පවත්වාගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔන්මැක්ස් සමාගමේ අධ්යක්ෂවරුන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.
සැකකරුවන් මුදා හරිනු ලැබුවහොත් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට අන්‍යාකාරයෙන් බලපෑමක් සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි ඔවුන් රක්ෂිත බන්ධනාගාරයට නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සදහන් කළේ.
සැකකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසද නියෝගයේ සදහන් වුණා.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා පැවසුවේ මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ව්‍යාපාරයක් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කරුණු දැක්වූවා. ඔහු පැවසුවේ සැකකරුවන් 5 දෙනා ඔන්මැක්ස් සමාගමේ අධ්යක්ෂවරුන් මෙන්ම කොටස්කරුවන් වශයෙන් ද කටයුතු කරන බවයි.
ජනතාවගෙන් ආයෝජන භාර ගෙන මාස 15 කින් පසු තුන්ගුණයක මුදලක් ගෙවන බව පවසා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව ද ඔහු පැවසුවා. මෙය මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ බැංකු පනත යටතේ නීතිවිරෝධී ක්‍රියාවක් වනවා.
මෙලෙස රුපියල් මිලියන 429 කට අධික මුදලක් ජනතාවගෙන් තැන්පතු ලෙස ලබාගෙන ඇති බවත් සමාගම සතු රුපියල් මිලියන 558 ක මුදලක් මේ වන විට තහනමට ගෙන ඇති බවත් රජයේ නීතිඥවරයා සදහන් කළා.
මෙම ආයෝජන ජාලය තුළ මේ වන විට තැන්පත්කරුවන් දෙලක්ෂ දහනව දහසකට ආසන්න පිරිසක් සිටින බවයි ඔහු පැවසුවේ.
මෙම ආයෝජනවල මුදල් යෙද වූ වළස්මුල්ල, වීරකැටිය සහ දෙහිවල යන ප්‍රදේශවල පුද්ගලයින් තුන්දෙනෙකු මේ වන විටත් සියදිවි නසාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දුන්නා.
මෙලෙස මහජනතාවගෙන් ලබා ගන්නා තැන්පතු මුදල් සැකකරුවන් සිය පෞද්ගලික ව්‍යාපාරික කටයුතුවල ආයෝජනය කර ඇති බව විමර්ශනවලදී හෙළිව ඇතැයි ද රජයේ නීතිඥවරයා සදහන් කළා.