දකුණු පළාතේ පොල් වගාව තුළ දරුණු ලෙස පැතිරී ගිය පොල් මයිටා (Aceria guerreronis) වසංගතය මැඩලීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණායතනය විසින් හඳුන්වාදෙන ලද විලෝපිත මයිටාවෙක් යොදා ගැනීම ඉතාමත් සාර්ථක වී ඇති බව එම පර්යේෂණායතනය සඳහන් කරයි.
පසුගිය කාලය තුළ අප රටේ පොල් අස්වැන්න අඩුවීම සඳහා විශාල බලපෑමක් මෙම මයිටා උවදුර නිසා සිදුවුණා.
දකුණු පළාතේ පොල් අස්වැන්න සියයට 60කින් පමණ මෙම වසංගතය නිසා අවම වුණා.
ජෛව පාලන ක්රමෝපායක් වශයෙන් දැනට අප ස්වාභාවික පරිසරයේ ම සිටින විලෝපිත මයිටාවෙක් වන Neoseiulus Barak නැමැති මයිටා විශේෂය යෙදීම මගින් පොල් මයිටා උවදුර සෑහෙන ප්‍රමාණයකට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා.
මෙම විලෝපිත මයිටාවන් 5000ක් පමණ වරින් වර පොල් ගසේ ගෙඩි අතරට එක දිගට වසර දෙකක්වත් යෙදිය යුතුයි.
පොල් මයිටා රෝගය 100%ක්ම තුරන් කළ හැකි ක්‍රමයක් මෙතෙක් සොයා ගෙන නැති නමුත් මයිටා රෝගය නිසා පොල් ගෙඩි කුඩා වීම 60%කින් පමණ අවම කර ගැනීමට Neoseiulus Barak යෙදීම මගින් හැකිවේ.
පොල් සංවර්ධන මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය හා ලුණුවිල පොල් පර්යේෂණායතනය සමඟ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා සාකච්ඡා කළ අතර එහිදී පොල් මයිටා රෝගය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කළා.
පොල් වගාවට වැළඳෙන විවිධ රෝග නිසා මේ වනවිට අප රටේ පොල් ගස් 370,000ක් ඉවත් කිරීමට සිදු වූ බව ද පොල් පර්යේෂණායතනය සඳහන් කළා.
2022 වර්ෂයේ මෙරටට පොල් අපනයනයෙන් ලද ආදායම USD මිලියන 817කි.
මෙම පොල් මයිටා උවදුර නිසා අපනයනය කරන පොල් ප්‍රමාණය ද අඩු වුණා.
එමනිසා පොල් මයිටා රෝග මර්දනය සඳහා යොදා ගත හැකි විකල්ප සම්බන්ධව වගා කරුවන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැනුම්වත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නා.