fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2023 තැඹිළි අපනයනය 117%කින් ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 09:16

2023 තැඹිළි අපනයනය 117%කින් ඉහළට

මෙරට තැඹිළිවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

ඒ අනුව 2023 වසරේ මේ වනවිට මෙරට වගා කරන තැඹිලි අපනයනය 117%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) පස්වරුවේ පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමග මෙරට පොල්  වගාව සංවර්ධනය සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළා.

මෙතෙක් වැවිලි බෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිළි සඳහා මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතී. 2022 වසරේ  තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයනු ලැබුවා.

එමෙන්ම මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිළි ගෙඩි ප්‍රමාණය මිලියන 14කි. ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140කි.

එමෙන්ම මෙම වසර තුළ අපනයනය කර ඇති තැඹිළි ගෙඩි ප්‍රමාණය සියයට 117කින් ඉහළ ගොස් තිබෙනවා.

තැඹිළි වගාවක් වශයෙන් තවමත් අපේ රටේ ප්‍රචලිත වී නොමැත.

එමනිසා පාංශු පරීක්ෂාවක් සිදු කර තැඹිළි වගාවට උචිත ප්‍රදේශයක් හදුනාගෙන එම ප්‍රදේශය තැඹිළි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කර තැඹිළි වගාව ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් ලබන වසර තුළ ආරම්භ කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දුන්නා.

දැනට අප රටේ වගාවට සුදුසු තැඹිළි ප්‍රභේදයක් හඳුනාගෙන නොමැති අතර තවමත් වගා කරන්නේ සාම්ප්‍රධායික ලෙස වගා කරන ලද තැඹිළි විශේෂ වේ.

නමුත් ඉහළ රසයකින් යුක්ත හා ආකර්ශණීය මෙන්ම කෙටි කළකින් ඵල දරණ නව තැඹිළි විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයට උපදෙස් දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්