fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමේ පන්සලේ භික්ෂුව හත් දවසේ බණට වඩින්න 45000ක් ඉල්ලලා… සල්ලි නැති නිසා පිටින් බණට වැඩම කරවූ ආරණ්‍යවාසී භික්ෂුවට ගමේ පන්සලේ හාමුදුරුවන් ඇවිත් ගහලා

hasiniek
By hasiniek ඔක්තෝබර් 31, 2023 17:43

ගමේ පන්සලේ භික්ෂුව හත් දවසේ බණට වඩින්න 45000ක්  ඉල්ලලා…  සල්ලි නැති නිසා පිටින් බණට වැඩම කරවූ ආරණ්‍යවාසී භික්ෂුවට  ගමේ පන්සලේ හාමුදුරුවන් ඇවිත්  ගහලා

කැබිතිගොල්ලෑව කුරුලුගම ග්‍රාමයේ පුද්ගලයෙකු මියගොස් සත්දින ධර්මදේශනාව සහ දානමය පිංකම් වෙනුවෙන් එම ග්‍රාමයේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමකට ආරාධනාකර තිබෙනවා.

ආරාධනාව ප්‍රතික්ෂේප කළ ස්වාමීන් වහන්සේ පවසා ඇත්තේ රුපියල් 45,000ක් ලබාදෙන්නේ නම් පැමිණිය හැකි බවයි. එසේ නොමැති නම් දායක සභාව සමග කතාකර ගන්නා ලෙස පවසා තිබෙනවා.

එහිදී දායක සභාවේ සභාපතිවරයා රුපියල් 15,900ක අවම මුදලක් අවශ්‍ය බව දැනුම්දී තිබෙනවා.

ඒ දායක සභාවට ඇතුළුවීමේ ගාස්තු ලෙස රුපියල් 1,500ක් / නියමිත පරිදි දාන වේල් 4ක් ලබානොදීම වෙනුවෙන් රුපියල් 10,000ක් / මාසික ගාස්තු සදහා රුපියල් 400ක් / කොටස් මුදල් ලෙස රුපියල් 1,000ක් සහ ශ්‍රමදානයකට නොපැමිණීම වෙනුවෙන් රුපියල් 3,000ක් ලෙස ගණනය කරමිනුයි

. මෙම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ නිවැසියන් ප්‍රදේශයේ ආරාණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක ධර්මදේශනය සදහා වැඩම කරවා තිබෙනවා. එහිදී කුරුලුගම රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ සහ දායක පිරිසක් පැමිණ ආරණ්‍යවාසී හිමියන්ගේ ධර්මදේශනාවට බාධා කරමින් ඉවත්ව යන ලෙස දැනුම් දී තිබෙනවා.

මේ පිළිබද තොරතුරු ලද කැබිතිගොල්ලෑව පොලීසිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අදාල නිවස වෙත යවා තිබුණ ද තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකිවී තිබෙනවා.

එහිදී ස්ථානාධිපති ඇතුළු තවත් නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් ආරණ්‍යවාසී හිමියන් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටත්කර හැරීමට උත්සාහ කළද කුරුලුගම විහාරයේ හිමිනම සහ පිරිස කලහකාරී ලෙස හැසිරෙමින් ආරණ්‍යවාසී හිමියන්ටත් පොලීසියටත් පහරදී තිබුණා.

පොලිස් යතුරුපැදියක්ද අතුරුදන්ව තිබූ අතර එය කුරුලුගම විහාරස්ථානයේ ආවස ගෙය තුළ තිබියදීයි හමුවී ඇත්තේ.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූ ආරණ්‍යවාසී හිමියන් සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණා. කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

කැබිතිගොල්ලෑව කුරුලුගම ග්‍රාමයේ දී ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමකට සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුලුගම විහාරස්ථානාධිපති හිමියන් හා තවත් පස් දෙනෙකු අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුනා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 31, 2023 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්