fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 17:47

අනුලා රත්නායකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

ඊශ්‍රායලයේ රැකියාවක නිරතවූ අනුලා ජයතිලක මහත්මිය මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට මෙරටදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.

අනුලා ජයතිලක මහත්මියගේ දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු කැලණිය දළුගම පිහිටි ඇයගේ නිවස වෙත අද පෙරවරුවේ රැගෙන යනු ලැබුවා.

අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක ලෙස විදේශ රැකියාවක් සදහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත්තේ 2013 වසරේයි. එතැන් සිට පසුගිය 7 වනදා හමාස් ප්‍රහාර එල්ලවන තෙක්ම ඇය ඊශ්‍රායලයේ රැකියාවේ නිරත වුණා.

ඇය මෙම සිද්ධියට මුහුණ දෙන අවස්ථාව වනවිට ගාසා සහ ඊශ්‍රායල දේශසීමා ආසන්නයේ ගම්මානයක සේවය කරමින් සිට තිබෙනවා. අනුලා ජයතිලක මහත්මියට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇය අතුරුදන්ව ඇති බවටයි වාර්තා වුණේ.

ඇයගේ සිරුර හදුනා ගැනීම සදහා ඊශ්‍රායල අධිකරණ වෛද්‍යවරුන් ඥාතීන්ගේ ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තාවක් ද ලබාගත්තා. පසුව අනුලා ජයතිලක මහත්මියගේ දේහය ඇයගේ ඥාතීන් විසින් හදුනාගනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.

මිය යනවිට 49 වන වියේ පසුවූ අනුලා ජයතිලක මහත්මිය දෙදරු මවක්. ඇයගේ දේහය මෙරටට රැගෙන ඒමට පෙර අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් ද ඊශ්‍රායලයේදී සිදුකෙරුණා.

ඊශ්‍රායල ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් අනුලා ජයතිලක මහත්මියගේ දේහය ඊයේ දිනයේ දී මෙරටට රැගෙන එනු ලැබුවා.

පසුව දේහය මීගමුව රෝහලට රැගෙන යාමෙන් පසු  මෙරටදී ද පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ වෙඩි වැදීමක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සිරුර අභ්‍යන්තරයේ තිබී උණ්ඩ කැබලි කිහිපයක් ද හමුවූ බව පොලීසිය ප්‍රකාශ කළා.

අනුලා ජයතිලක මහත්මියගේ දේහය ඇය පදිංචිව සිටි කැලණිය දළුගම පිහිටි නිවස වෙත රැගෙන යාම අද උදෑසන සිදුකෙරුණා. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ඥාතීන්ට සිය ශෝකය ද පළකළා.

දේහය හෙට පස්වරු 2 දක්වා එම නිවසේ තැනපත් කර තැබෙනවා. අවසන් කටයුතු පස්වරු 4ට වේවැල්දුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

මේ අතර ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ඉල්ලා සිදුකළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

යෝජනාවට පක්ෂව රටවල් 120ක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 14ක් විරුද්ධව ඡන්දය භාවිත කළා. තවත් රටවල් 45ක් ඡන්දය ලබාදීමෙන් වැලකී සිටි බවටයි වාර්තා වුණේ. ශ්‍රී ලංකාව ඡන්දය භාවිත කළේ යෝජනාවට පක්ෂවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 17:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්