වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගන්න – රසායනික පොහොර සහ කාබනික පොහොර දෙවර්ගයම යොදන්න
Related Articles
වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර දෙවර්ගයම යොදා ගත යුතු බව විද්වත්හු අවධාරණය කරනවා.
රසායනික හා කාබනික පොහොර භාවිතය පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ගොවි ජනතාවට ලබා දිය යුතු බවත්, නමුත් දැනට ඒ සම්බන්ධව පැහැදිලි මතයක් ගොවි ජනතාව අතරට නොයාම ගැටළුවක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
දේශීය කෘෂිකර්මාන්තයේ වී වගාව පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
2021 මහ කන්නය සියයට 100ක් කාබනික පොහොර අනිවාර්ය කිරීම නිසා මේ රටේ කෘෂිකර්මාන්තය විනාශවී යාමේ තර්ජනයට මුහුණ පෑවා.
මේ හේතුවෙන් වී අස්වනු අඩු වීම නිසා 2022 වර්ෂය පුරාම සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වුණා.
ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 08ක් ආනයනය කළ අතර ඒ සඳහා රටට වැය කිරීමට සිදුවු මුදල ඩොලර් මිලියන 300 ඉක්මවනු ලැබුවා.
එමෙන්ම වර්තමානයේ දී සියයට 100ක් රසායනික පොහොර යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම ද ගැටළු සහගතයි.
සායනික පොහොර පමණක් යෙදීම මගින් අස්වනු වැඩි වන්නේ නැහැ.
එමනිසා වී වගාවේ දී කාබනික පොහොර හා රසායනික පොහොර භාවිතය සම්බන්ධව පැහැදිළි නිර්වචනයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.
දැනට සිදු කර ඇති පර්යේෂණ අනුව වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට නම් රසායනික පොහොර හා කාබනික පොහොර යන දෙවර්ගයම යම් අනුපාතයකට යෙදිය යුතු බවත්, එම අනුපාතය ඒ ඒ ප්‍රදේශවල පසෙහි පවතින පාංශු හා දේශගුණ තත්ත්වයන් (වර්ෂාව, ආලෝකය) සැළකිල්ලට ගනිමින් තීරණය කළ යුතු බවත් මෙම සාකච්ඡාවට සහභාගී වූ විද්වත්හු අවධාරණය කළා.
දැනට ඉහළ විභවතාවයකින් යුත් ප්‍රදේශ අප රටේ පවතින බවත් විශේෂයෙන් මහවැලි එච් කළාපය, අම්පාර, හම්බන්තොට, උඩවළව, පොලොන්නරුව වැනි ප්‍රදේශ වී වගාවේ ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි ( High potential Area) ප්‍රදේශ වනවා.
එමෙන්ම තෙත් කලාපයේ තිබෙන්නේ ආන්තික කුඹුරු පමණක් නිසා වී අස්වැන්න අවම මට්ටමක පවතින අතර තෙත් කළාපය වී වගාවෙන් ඉහළ අස්වැන්නක් ලබා ගත නොහැකි ප්‍රදේශයක් වශයෙන්ද හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වුවද වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් කාබනික හා රසායනික පොහොර යෙදීම මෙන්ම වගාවේ නව තාක්ෂණික උපක්‍රම ද භාවිතා කළ යුතුව තිබෙනවා.
විශේෂයෙන් පැරසුට් තාක්ෂණය යොදා ගැනීම මගින් ඉහළ අස්වැන්නක් ලබාගැනීමට හැකියාව පවතිනවා.
දැනට දකුණු ආසියානු කලාපය තුළ වැඩිම වී අස්වැන්නක් ලැබෙන රට වන්නේ අපේ රටයි.
එමෙන්ම මේ වන විට රට තුළ වගා කරන වී ප්‍රභේදවලින් සියයට 100ක්ම දේශීය වී ප්‍රභේද බවත්, දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වී ප්‍රභේද අප රට තුළ භාවිතා නොකරන බවත් ඔවුහු ප්‍රකාශ කර තිබෙනවා..
කෙසේ වුවද රට තුළ වී අස්වැන්න ඉහළ නැංවීම මෙන්ම අපනයනය ඉළක්ක කර ගනිමින් සහල් නිෂ්පාදනය ප්‍රවර්ධනයට උචිත වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම අවස්ථාවට කෘෂිකර්ම ලේකම් ගුණදාස සමරසිංහ මහතා මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා පාරම්පරික වී වර්ග වගා කරන ගොවි එකමුතුවේ සාමාජිකයින් ද සහභාගී වී සිටියා.