මැද පෙරදිග කලාපයේ පවතින වර්තමාන තත්ත්වය සහ ඒ මගින් ශ්‍රී ලංකාවට ඇති බලපෑම සම්බන්ධව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වුණා.
විශේෂයෙන්ම ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දේශ සීමා සම්බන්ධයෙන් පවතින ගැටුම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම හේතුවෙන් ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සිදු වන බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ තෙල්මිල වැඩිවීම, විදේශ රැකියා සහ සංචාරක කර්මාන්තය යන අංශ ඔස්සේ ශ්‍රී ලංකාවට මෙහිදී බලපෑමක් සිදු විය හැකි බවයි.
එසේම මැදපෙරදිග තත්ත්වය ආශ්‍රීතව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ ගතවීමේ උනන්දුව පිළිබඳවද කමිටුව විසින් විමසුවා.
මෙහිදී නිලධාරීන් සඳහන් කළේ මැද පෙරදිග රැකියාවලට යෑම සම්බන්ධයෙන් මේ දිනවලද ශ්‍රී ලාංකිකයින් තුළ පවතින උවමනාවේ අඩුවක් වී නොමැති බවයි. නමුත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම කාලසීමාව තුළ ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යැවීම සීමා කොට ඇති බවද මෙහිදී පැවසුවා.
තවද ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමේදී හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර වලට ශ්‍රී ලංකිකයන් දෙදෙනෙකුටද හසුවී ඇතැයි ව්‍යාප්ත වන පුවත සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.
මේ අනුව මේ සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂා කිරීම් සිදු කරන බවත් එම රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළා.
තවද ඊශ්‍රායල රටේ දැනට රැකියාවල නිරතවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම පිළිබඳවද කමිටුව මෙහිදී පරීක්ෂා කළා.
මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ එසේ විදේශ ගතවී සිටින ශ්‍රමිකයින් සිටින ප්‍රදේශ ආරක්ෂිත බැවින් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවයි.
මෙහිදී ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද ගරු නාමල් රාජපක්ෂ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට නිර්දේශ කළා.
තවද තමිල්නාඩුවේ සිටින ශ්‍රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් මෙම කමිටුවේ අවධානය යොමුකොට එම සරණාගතයින් මෙරටට ගෙන්වීම පිළිබඳ සලකා බලන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් යෝජනා කළා.
මේ අනුව මේ පිළිබඳ පරීක්ෂා කර බලා මෙම කමිටුවට මේ සම්බන්ධයෙන් මැදිහත් විය හැකි ආකාරය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස අදාළ පාර්ශ්ව වෙත කමිටුව විසින් උපදෙස් ලබා දුන්නා.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කිරීමක් සහිතව (Presentation) ඊශ්‍රායලය සහ පලස්තීනයේ ආර්ථිකයන් සහ මෙම රටවල් සමග ශ්‍රී ලංකාවේ වෙළද සබඳතා පිළිබඳව පෙන්වා දුන්නා.
තවද ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කිරීම්ට සම්බන්ධ කරගත් තරුණ නියෝජිතයින්ද පැමිණ සිටි නිලධාරීන්ගෙන් තම ගැටලු පිළිබඳව විමසුවා.
මෙම කාරක සභාව සඳහා කමිටු සාමාජිකයන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, අකිල එල්ලාවල, ශානක්කියන් රාසමානික්කම්, යදාමිණී ගුණවර්ධන සහ (නීතිඥ) මධුර විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ වුණා.
එසේම මෙම කමිටුව සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීන් පැමිණ සිටියා.