fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සහ චීන උප අගමැති අතර හමුවක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 19, 2023 20:30

ජනපති සහ චීන උප අගමැති අතර හමුවක්

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති ඩින්ග් එක්ස්‍යුහිෂැං (Ding Xuexiang) මහතා පවසනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන උප අගමැතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද (19) පස්වරුවේ බීජිං නුවරදී පැවැත්වුණු අතර එහිදී චීන උප අගමැතිවරයා මේ බව සඳහන් කලා

කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය සංවර්ධනය කිරීම සඳහා “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන යටතේ පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී පැවසූ චීන උප අගමැතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘති දෙකම සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බවටද විශ්වාසය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව එළැඹුනු ප්‍රථම විදේශීය වාණිජ ගිවිසුම චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ඔස්සේ ඉදිරියට යමින් දෙරටේ පොදු ප්‍රතිපත්තීන්ට සරිලන නව වාණිජ සබඳතා ඇතිකරගත යුතු බව ද පෙන්වා දී තිබෙනවා.

ශ්‍රි ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබා දුන් සහාය ඉතා අගය කරන බවද පැවසු ජනාධිපතිවරයා ඈත අතීයේ සිටම ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය ශක්තිමත් තලයක පැවති බවත්, ජනාධිපති ෂී ජින් පිං මහතා යටතේ එය වඩාත් තහවුරු වී ඇති බවත් සඳහන් කළා

ඉන්දීය සාගර කලාපයේ අනන්‍යතාව සහ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි අවධානයක් යොමු කරන බවත්, බල අරගලයක ගොදුරක් බවට ඉන්දියන් සාගරය පත් කර ගැනීමට අවකාශ ලබා නොදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

එසේම ශ්‍රි ලංකාව RCEP හෙවත් කලාපීය ආර්ථික සබඳතා සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා

මෙම සාකච්ඡාව අවසානයේ චීන උප අගමැතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පිරිනමා තිබෙනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 19, 2023 20:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්